
මෙම වසර සඳහා රුපියල් බිලියන 2,206ක් ලෙස ලබාදී ඇති ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
දැනටමත් එම ඉලක්කයෙන් රුපියල් බිලියන 1,809.8ක ආදායමක් රැස් කරගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා පවසනවා.
එමෙන්ම මාසික ආදායම් ඉලක්ක ද අඛණ්ඩව ඉක්මවා යමින් පවතින බව ජ්‍යේෂ්ඨ රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා ප්‍රකාශ කරනවා.
මෙම මාසයේ ආදායම් ඉලක්කය ද සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් පසුගිය මාසවලදී මෙන් විශාල අමතර ආදායමක් රැස් කර ගැනීමේ හැකියාවක් මෙම මාසයේදී දක්නට නොලැබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
කෙසේ වෙතත්, වසර අවසානය වන විට සමස්ත ආදායම් ඉලක්කය ඉක්මවා යාමට හැකි වනු ඇතැයි රේගුව විශ්වාස කරනවා.
මේ අතර,වාහන සඳහා පනවා ඇති අධිභාරය සමග මේ මාසයේ ආරම්භයේ සිටම වාහන ආනයනයෙන් ලැබෙන ආදායමේ සැලකිය යුතු අඩුවීමක් නිරීක්ෂණය වී තිබෙනවා.
රේගු දත්ත අනුව පෙරේදා (25) දිනයේ සමස්ත ආදායම රුපියල් බිලියන 15.8ක් වූ අතර, එයින් වාහන ආනයනයෙන් ලැබුණු ආදායම රුපියල් බිලියනයකටත් අඩු මට්ටමක පැවති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා පවසනවා.
විශේෂයෙන්ම වාහන ආනයනයෙන් ලැබෙන රේගු බදු ආදායමේ කැපී පෙනෙන පහළ යාම හේතුවෙන්, මෙම මාසයේ සමස්ත ආදායම කෙරෙහි ද යම් බලපෑමක් එල්ල වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.