
හම්බන්තොට වරායේ නිදහස් කර නොගත් වාහන වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් මගින් විකිනීමට හෝ අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ශ්‍රි ලංකා රේගුව පවසනවා.
මේ වන විට වාහන 1,000 කට අධික සංඛ්‍යාවක් මාස තුනකට වැඩි කාලයක් නිදහස් කරගෙන නොමැතිව හම්බන්තොට වරායේ ගාල් කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා පවසනවා.
අධිභාරය හේතුවෙන් ආනයනකරුවන් විසින් මෙම වාහන මුදාගැනීම ප්‍රමාද කර ඇති බවට සැක කෙරෙන අතර, ඒවා අත්හැර දැමූ වාහන ලෙස සලකා රේගු ආඥා පනතේ 109 වගන්තිය ප්‍රකාරව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට රේගුව කටයුතු කරමින් සිට්න බව චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කළා.
එම වාහනවලින් සුළු ප්‍රමාණයක් පමණක් නිදහස් ගෙන යන ප්‍රවණතාවක් පවතින බවත්, ඉතිරි වාහන සම්බන්ධයෙන් රේගු ආඥා පනතට අනුව වෙන්දේසි කිරීම හෝ වෙනත් නීත්‍යනුකූල ක්‍රමවේදයක් යටතේ විකිණීම මගින් අදාළ රේගු බදු සහ වරාය ගාස්තු අයකර ගැනීමට කටයුතු කරන බවත් පුංචිහේවා මහතා පැවසුවා.
මෙම වාහන සම්බන්ධයෙන් රේගු වරදක් සිදුවී නොමැති බවද ඔහු අවධාරණය කළා.
ආනයනකරුවන්ගේ පෞද්ගලික හේතූන් මත වාහන මුදා නොගැනීම හේතුවෙන් ඔවුන්ට විශාල මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නා.