
මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති රැස්වීමේදී එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.75ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
වෙනස් වෙමින් පවතින දේශීය හා ගෝලීය ආර්ථික ප්රවණතා මෙන්ම ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳව පුළුල් ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බව මහ බැංකුව සඳහන් කරයි.
2025 මැයි මාසයේදී පූර්වෝපායික පියවරක් ලෙස ක්රියාත්මක කළ මුදල් ප්රතිපත්ති දැඩි කිරීමේ ක්රියාමාර්ගය ඇතුළු ඒ සමඟ ක්රියාත්මක කළ අනෙකුත් ප්රතිපත්ති ක්රියාමාර්ගවල බලපෑම් මේ වනවිට බොහෝ දුරට ආර්ථිකය වෙත සම්ප්රේෂණය වී ඇති බව මුදල් ප්රතිපත්ති මණ්ඩලයේ අවධානයට ලක්ව තිබේ.
එමෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින භූදේශපාලනික ආතතීන් හේතුවෙන් මතුවිය හැකි අවිනිශ්චිතතා සහ එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන් ආර්ථිකයට ඇති විය හැකි අවදානම් ද ප්රතිපත්ති තීරණයේදී සැලකිල්ලට ගෙන තිබේ.
2026 වසරේ පළමු භාගයේදී ශ්රී ලංකා ආර්ථිකය සියයට 4.7ක වාර්ෂික ලක්ෂ්යමය මූර්ත වර්ධනයක් වාර්තා කරමින් ශක්තිමත්ව ක්රියාත්මක වී ඇත.
ගෝලීය හා දේශගුණික තත්ත්වයන් ආශ්රිත අවිනිශ්චිතතා හේතුවෙන් ඉදිරි ආර්ථික ක්රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති විය හැකි වුවද, දැනට පවතින ප්රමුඛ ආර්ථික දර්ශක මගින් අඛණ්ඩ වර්ධන ප්රවණතාවක් පෙන්නුම් කරන බව මහ බැංකුව පවසයි.
මෑතකදී ක්රියාත්මක කළ ප්රතිපත්තිමය ක්රියාමාර්ග හේතුවෙන් පෞද්ගලික අංශයට ලබාදෙන ණය වර්ධනය ක්රමයෙන් මන්දගාමී වෙමින් පැවතියද, ආර්ථික ක්රියාකාරකම් සඳහා සහාය දැක්වීමට ප්රමාණවත් ණය ප්රවාහයක් අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2026 අගෝස්තු මාසයේදී මතුපිට උද්ධමනය සියයට 8.0ක් දක්වා ඉහළ ගොස් තිබේ. බලශක්ති මිල ඉහළ යාමේ බලපෑම ආර්ථිකයේ විවිධ අංශ වෙත සම්ප්රේෂණය වීම මෙම ඉහළ යාමට ප්රධාන වශයෙන් බලපා ඇති බව මහ බැංකුව සඳහන් කරයි.
මතුපිට උද්ධමනය 2027 වසරේ පළමු කාර්තුව දක්වා කාලය තුළ වර්තමාන මට්ටමට වඩා ඉහළ තනි ඉලක්කම් මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ඉන් අනතුරුව එය ක්රමයෙන් සියයට 5ක ඉලක්කගත මට්ටම වෙත පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉහළ බලශක්ති මිල ගණන්වල වක්ර බලපෑම් හේතුවෙන් මූලික උද්ධමනය ද ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, වර්තමානයේ උද්ධමනයේ ඉහළ යාමක් දක්නට ලැබුණද, මැදිකාලීන උද්ධමන අපේක්ෂා බොහෝ දුරට ඉලක්කගත මට්ටම වටා ස්ථාවරව පවතින බව මහ බැංකුව පවසයි.
මැදපෙරදිග කලාපයේ පවතින ආතතීන් මධ්යයේ වුවද ශ්රී ලංකාවේ විදේශ අංශය අඛණ්ඩව ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර තිබේ.
අඛණ්ඩව මාස හතරක් ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වීමෙන් අනතුරුව, 2026 අගෝස්තු මාසයේදී එම ගිණුම අතිරික්තයක් වාර්තා කර ඇත.
සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ ලැබීම් ඉහළ යාම මෙන්ම වෙළඳ භාණ්ඩ ආනයන වියදම් පහළ යාම එම අතිරික්තයට හේතු වී තිබේ.
2026 අගෝස්තු මස අවසානය වනවිට ශ්රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇත.
ශ්රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය ශුද්ධ පදනමින් මිලදී ගැනීම ද සංචිත ඉහළ යාමට සහාය වී තිබේ.
2026 ජූලි සහ අගෝස්තු මාසවලදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අතිප්රමාණය වූ ශ්රී ලංකා රුපියල සැප්තැම්බර් මාසයේදී මිශ්ර හැසිරීමක් පෙන්නුම් කර තිබේ.
මෑතකදී සිදු වූ ස්වෛරීත්ව ණය ශ්රේණිගත කිරීම් ඉහළ දැමීම හේතුවෙන් වෙළඳපොළ විශ්වාසය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
ඉදිරි ආර්ථික තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් දත්ත මත පදනම්ව මුදල් ප්රතිපත්ති තීරණ ගැනීමට මහ බැංකුව අඛණ්ඩව කටයුතු කරන බවද සඳහන් කරයි.
උද්ධමන පීඩනය තවදුරටත් තීව්ර වුවහොත් හෝ උද්ධමන අපේක්ෂා ඉලක්කගත මට්ටමෙන් අපගමනය වීමේ ප්රවණතාවක් පෙන්නුම් කළහොත්, මැදිකාලීනව ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීමට සහාය වන අතරම උද්ධමනය ඉලක්කගත මට්ටම වටා ස්ථාවර කිරීම සඳහා කාලෝචිත හා සුදුසු ක්රියාමාර්ග ගැනීමට මහ බැංකුව සූදානම් බව අවධාරණය කර තිබේ.