මහනුවර ශ්රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා කටයුතුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම සලකාබැලීම සඳහා මේ මස 23 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.
ගම්පොළ ප්රදේශයේ පදිංචි සාලිය ප්රසාද් නන්දසිරි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 23වනදා කැදවන ලෙසය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්, හිටපු දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු පිරිසක් නම් කර තිබේ.
නීතිඥ සඳරුවන් සේනානායක මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ, හිටපු දියවඩන නිලමේ වරයා වූ නිලංග දෑල මහතාගේ ධුර කාලය ඉකුත් 07 වන දිනෙන් අවසන් වූ බවය.
ඉන් අනතුරුව විහාර හා දේවාලගම් පනතේ විධිවිධාන ප්රකාරව උභය පාර්ශවයේ විහාරාධිපතින්ගේ ඉල්ලීම පරිදි යළිත් වැඩබලන දියවඩන නිලමේ වශයෙන් නිලංග දෑල මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.
හිටපු දියවඩන නිලමේ වරයාට එරෙහිව විවිධ දූෂණ සහ අක්රමිකතා චෝදනා රැසක් ඉදිරිපත් වී ඇති බව පෙන්වාදෙන පෙත්සම්කරු, එම වාතාවරණය හමුවේ ඔහු අදාළ ධුරයේ වැඩබැලීම සඳහා පත්කිරීම නීතියට පටහැනි බවත්, එය විහාර හා දේවාලගම් පනතේ විවිධානයන්ට පටහැනි බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව වගඋත්තරකාර හිටපු දියවඩන නිලමේවරයා අදාළ ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.