
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබන 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (19) නියෝග කළා.
සිද්ධියට අදාලව වැඩිදුර බී වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරින් විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව එලෙස නියෝග කරනු ලැබුවා.
සැකකරු අද මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබුණා.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් සිට එකී මිල දී ගැනීමේ දී අල්ලස් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ ඇතුළුව තවත් අයවළුන් සමඟ කුමන්ත්‍රණය කර සිය බිරිඳ නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා එම සමාගම නමින් සිංගප්පූරුවේ බැංකුවක ගිණුම් විවෘත කර අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු විධායක නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් නම් කරන ලද ප්‍රියංකා නියෝමාලි විජේරත්න සහ ශමින්ද රාජපක්ෂ යන අයට වරෙන්තු ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් කරන ලද ඉල්ලීමට අදාලව සාක්ෂි ලබාදීමට මාර්තු 24 වන දින නඩුව කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙම සැකකරු විසින් උපයා ගන්නා ලද මිලියන අසුවක මුදලක් රාජ්‍ය පරිපාලන නිලධාරීන් දෙදෙනෙකුට ලබා දී ඇති බව සැකකරු ලබා දුන් ප්‍රකාශවල සඳහන් වන බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූවා.
මෙම සැකකරු විසින් ලබාගන්නා ලද මුදලින් මිලියන හැටක මුදලක් අවස්ථා තුනකදී හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ මිලියන 20ක මුදලක් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී ඇති බව එම ප්‍රකාශයේ සඳහන් වූ බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.
ඒ අනුව එම සිද්ධියට අදාළව ප්‍රකාශයේ සඳහන් පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියා.