
වවුනියාවේ බොහෝ ඉන්ධන පිරවුම් හල් වල සේවකයින් කිව්. ආර්. ( QR ) කේතයෙන් ඉතා වංචනික ලෙස මුදල් ඉපැයීමට පටන් ගෙන ඇති බවට මහජනතාවගෙන් පැමිණිලි ලැබී තිබෙනවා. මෙම වංචාව ඉතා වැඩි වශයෙන් සිදු වන්නේ කුඩා ප්රමාණයේ යතුරු පැදි වලට ඉන්ධන නිකුත් කිරීමේදී බව වවුනියාවේ පාරිභෝගිකයෝ කියා සිටිනවා. සතියකට QR කේතයට අනුව ලබා දෙන ඉන්ධන ප්රමාණය එකවර ලබා නොගන්නා කුඩා ප්රමාණයේ යතුරු පැදි හිමි පාරිභෝගිකයින්ගේ කේතයේ සදහන් මුලු ඉන්ධන ප්රමාණයම පාරිභෝගිකයා විසින් ලබා ගෙන ඇති බව සදහන් කොට එසේ ඉතිරිවන ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමට ඉන්ධන පිරවුම් හල් වල සේවකයෝ කටයුතු කරන බව එම පැමිණිලි වල සදහන් වෙනවා. එක් යතුරු පැදියක් සදහා සතිකයකට නිකුත් කරණු ලබන ලීටර් 5 ක ඉන්ධන ප්රමාණයෙන් ලීටර් දෙකක් හෝ තුනක් පමණක් ලබා ගන්නා පාරිභෝගිකයා ආපසු ඉතිරි ඉන්ධන ප්රමාණය ලබා ගැනීමට පැමිණෙන විට කල් ඉකුත් වීම නිසා එම ඉන්ධන ප්රමාණය අවලංගු බව කියමින් ඉන්ධන පිරවුම් හල් වල සේවකයෝ එම ඉන්ධන ප්රමාණය වංචා කිරීමට පටන් ගෙන තිබෙනවා. එසේ ඔවුන් විසින් ඉතිරි කර ගන්නා ඉන්ධන ප්රමාණය සිය මිතුරන්ට කිව්.ආර්. ( QR ) කේතයක් නොමැතිව ඉන්ධන පිරවුම් හල් වලදී ලබා දීමෙන් පසුව එම ඉන්ධන රැගෙන යන පිරිස ඉතා රහසිහත ස්ථාන වලදී ඉන්ධන අධික මිල ගණන් වලට අලෙවි කරණ බවට වවුනියාවේ ජනතාව ඉන්ධන පිරවුම් හල් හිමියන්ට පැමිණිලි කොට ඇත. එසේ වංචනිකව ලබා ගන්නා පෙට්රල් ලීටරයක් රුපියල් 600 ත් 750 ත් අතර මිලකට අලෙවි කරණ බවද එවැනි නිවාස හා ව්යාපාරික ස්ථාන වවුනියාවේ තැනින් තැන ඉතා විශාල වශයෙන් ඇති බවද වවුනියවේ ජනතාව පෙන්වා දෙනවා.