
ප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් (Tiger Woods) බීමත්ව හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමේ සැකය මත අත්අඩංගුවට ගෙන ඇති බව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මාර්ටින් ප්‍රාන්ත (Martin County) ෂෙරිෆ් ජෝන් බුඩෙන්සීක් පවසනවා.
වුඩ්ස් පදවාගෙන ආ රථය කුඩා ට්‍රේලරයක් ඇදගෙන යමින් තිබූ පිකප් ට්‍රක් රථයක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගැටීමෙන් වුඩ්ස්ගේ රථය පසෙකට පෙරළී ගොස් තිබෙනවා.
පොලිසිය එම ස්ථානයට පැමිණෙන විට වුඩ්ස් යම් මත්ගතියකින් පසුවන බවට ලක්ෂණ පෙන්නුම් කළ බවයි බුඩෙන්සීක් සඳහන් කර ඇත්තේ.
ඒ අනුව, වුඩ්ස්ට එරෙහිව බීමත්ව රිය පැදවීම, දේපළ හානි සිදු කිරීම සහ නීත්‍යානුකූල පරීක්ෂණයකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම යන චෝදනා එල්ල වන බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.
මෙම අනතුරෙන් වුඩ්ස්ට තුවාල සිදුවී නොමැත.
පරීක්ෂණවලට අනුව, අනතුර සිදුවීමට මොහොතකට පෙර වුඩ්ස් ඉතා නොසැලකිලිමත් ලෙස රිය පදවා ඇති බව සඳහන්.
උතුරු දෙසට ගමන් කරමින් තිබූ ට්‍රක් රථය මාර්ගයෙන් ඉවතට හැරවීමට උත්සාහ කරන විට, අධික වේගයෙන් පැමිණි වුඩ්ස්ගේ රථය එහි පසුපස කොටසේ ගැටී පසෙකට පෙරළී තිබෙනවා.
වුඩ්ස් මධ්‍යසාර භාවිත කර නොමැති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇති නමුත්, මුත්‍රා පරීක්ෂණයක් සිදු කිරීමට ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවටයි නිලධාරීන් පවසා ඇත්තේ.
50 හැවිරිදි වුඩ්ස් පසුගිය වසරේ ශල්‍යකර්ම කිහිපයකට මුහුණ දීමෙන් පසු නැවතත් ගොල්ෆ් ක්‍රීඩාවට පිවිසීමට නියමිතව තිබුණා.
මීට පෙර 2017 වසරේදී ද ඔහු බීමත්ව රිය පැදවීමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව ඇති අතර, 2021 වසරේදී ද දරුණු රිය අනතුරකට මුහුණ දී තිබෙනවා.