
ශ්රී ලංකා ක්රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ප්රතිසංස්කරණය කිරීමට ශ්රී ලංකා ක්රිකට් තීරණය කොට ඇති අතර, හිටපු ක්රීඩකයන් වන අශාන් ප්රියංජන, නුවන් කුලසේකර හා රංගන හේරත් වැනි දක්ෂයන්ට පුහුණු කාර්ය මණ්ඩලයේ අවස්ථාදීමට තීරණයවී තිබේ.
ශ්රී ලංකා ‘ඒ’ ක්රිකට් පිලේ නව පුහුණුකරු ලෙස අශාන් ප්රියංජන තෝරා ගෙන ඇති අතර, එම තනතුරේ සිටි අවිශ්ක ගුණවර්ධන 19න් පහළ සංචිතයේ ප්රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට පියවර ගෙන තිබේ. දේශීය ක්රිකට් පිටියේ ප්රධාන ලෙසම කොළඹ ක්රිකට් සමාජය නියෝජනය කළ අශාන් ප්රියංජන, එම කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු දක්වා පැමිණි අත්දැකීම් ඇති අයෙකි.
මේ හේතුවෙන් ඔහුට නව වගකීමක් භාරදීමට ශ්රී ලංකා ක්රිකට් තීරණය කොට තිබේ. අශාන් ප්රියංජනගේ පුහුණුකාරීත්වයෙන් ලබන මස 2 වැනිදා ශ්රී ලංකාවට පැමිණෙන නවසීලන්ත ‘ඒ’ පිල සමඟ තරගාවලියට ශ්රී ලංකා ‘ඒ’ ක්රිකට් පිල සූදානම් කෙරේ.
ශ්රී ලංකා ක්රිකට් පුහුණු සංචිතවල වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට මෙයට වසරකට පමණ පෙර සිටම සැලසුම් කර තිබුණද ශ්රී ලංකාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය හේතුවෙන් එම සැලසුම් තාවකාලිකව කල්දැමීමට සිදුවිය. හිටපු ක්රීඩකයන් වන නුවන් කුලසේකරට හා රංගන හේරත්ට ඉදිරි සතිය ඇතුළතදී වගකීම් කිහිපයක් පැවරීමට සාකච්ඡා වෙමින් පවතී.
කෙසේ වුවද ලබන මස 15 වැනිදා සිට ශ්රී ලංකා පිලේ ප්රධාන පුහුණුකරු තනතුරට පත්වන දකුණු අප්රිකාවේ ගැරී කර්ස්ටන් මහතාගේ පැමිණීමට පෙර ‘ඒ’ කණ්ඩායමේ, නැගී එන කණ්ඩායමේ හා 19න් පහළ සංචිතවල ප්රධාන වෙනස්කම් කිහිපයක් කිරීමට කටයුතු කර ඇත.
කර්ස්ටන් මහතාගේ ඉල්ලීම පරිදි ශ්රී ලංකා ක්රිකට් පිලේ දැනට සිටින විවිධ අංශවල පුහුණුකරුවන්ගේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි ද වාර්තා වේ. ලෝක කුසලාන ක්රිකට් තරගාවලියෙන් පසු හිටපු ප්රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ශ්රී ලංකා පිලෙන් ඉවත්වූ අතර, එම පුරප්පාඩුවට සුදුසුකම් ඇති විදෙස් පුහුණුකරුවකු පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් සාකච්ඡා කිහිපයක්ම පවත්වා ගැරී කර්ස්ටන් මහතා තෝරා පත්කර ගත්තේය.
කර්ස්ටන් මහතා 2008 සිට 2011 දක්වා ඉන්දීය ක්රිකට් පිල පුහුණු කළ අතර, ඔහුගේ ධුර කාලයේ අවසාන වසරේදී ඉන්දියාව එක්දින ලෝක කුසලානය දිනා ගත්තේය. අනතුරුව ඔහු 2011 සිට 2013 දක්වා දකුණු අප්රිකාව කළමනාකරණය කළ අතර, එහිදී එම කණ්ඩායම සියලු ආකෘතීන්ගෙන් අංක 1 බවට පත්වීමට උපකාරී විය.