
හෝර්මුස් සමුද්ර සන්ධියේදී තෙල් ප්රවාහන නෞකා හතකට ප්රහාරවලින් හානි සිදුව ඇති බව ඉරානය ප්රකාශ කරනවා.
එමෙන්ම, ඇමෙරිකාව කලාපයේ නෞකා ගමනාගමනයට සහාය වීමට මැදිහත් වුවහොත් මැදපෙරදිග පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ප්රහාර එල්ල කළ හැකි බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත්, ඉරානයේ මෙම ප්රකාශ ප්රතික්ෂේප කරන ඇමෙරිකානු හමුදාව පවසන්නේ, තෙල් මිල ඉහළ නැංවීමේ අරමුණින් ඉරානය මෙවැනි ප්රකාශ සිදුකරන බවයි.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ඊයේ (22) නිකුත් කළ නිවේදනයකට අනුව, බදාදා රාත්රියේදී නෞකා හතරක් තෙල් ප්රවාහනය කරමින් සිටියදී ප්රහාරවලට ලක්ව ගිනිගෙන තිබෙනවා.
තවත් නෞකා තුනක් මුහුදේ අටවා තිබූ බිම් බෝම්බවල ගැටීමෙන් අක්රිය වී ඇති බව ද එම බලකාය ප්රකාශ කරයි.
හෝර්මුස් සමුද්ර සන්ධියේ වෙනත් ප්රදේශ හරහා නෞකා ගමන් කිරීමට ඇමෙරිකාව සහාය ලබා දෙන්නේ නම්, කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ප්රහාර එල්ල කරන බවට IRGC අනතුරු අඟවා තිබේ.
“මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත්, කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු දක්වා ගැටුම ව්යාප්ත වනු ඇති බව ඇමෙරිකානු හමුදාව අවබෝධ කරගත යුතුයි” යනුවෙන් එම බලකාය සිය Sepah News වෙබ් අඩවියේ පළ කළ නිවේදනයක සඳහන් කර ඇත.
එය බරපතළ අනතුරු ඇඟවීමක් බව ද IRGC වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ යුද්ධය ආරම්භ වීමට පෙර ප්රවාහනය කෙරුණු හෝර්මුස් සමුද්ර සන්ධිය, ලෝක බලශක්ති වෙළෙඳාම සඳහා අතිශය වැදගත් මුහුදු මාර්ගයකි.
එම ප්රදේශයේ පාලනය තමන් සතු බව ඉරානය ප්රකාශ කරන අතර, සිය අවසරයකින් තොරව සමුද්ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන නෞකාවලට එරෙහිව ද ප්රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
ඇමෙරිකානු හමුදාව මේ වන විට වැඩි නෞකා සංඛ්යාවක් හෝර්මුස් සමුද්ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කරවීමට පියවර ගනිමින් සිටින අතර, ඊට ප්රතිචාර වශයෙන් ඉරානය ප්රහාර තීව්ර කර ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් බ්රහස්පතින්දා සිය Truth Social සමාජ මාධ්ය ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, ඇමෙරිකානු මධ්යවාර මැතිවරණයට පෙර තෙල් මිල ඉහළ නැංවීම සඳහා ඉරානය හැකි සෑම දෙයක්ම සිදුකරමින් සිටින බවයි.
“ගැටුම ආරම්භ වීමට පෙර පැවති තත්ත්වයටත් වඩා වැඩි තෙල් ප්රමාණයක් දැන් හෝර්මුස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන බැවින්, ප්රහාර, මුහුදු බෝම්බ සහ වෙනත් සිදුවීම් පිළිබඳ ව්යාජ ප්රකාශ ඉරානය ඉදිරිපත් කරමින් සිටිනවා” යනුවෙන් ට්රම්ප් සඳහන් කර තිබේ.
අල් ජසීරා පුවත් සේවය වෙත නිර්නාමිකව අදහස් දැක්වූ ඇමෙරිකානු මධ්යම විධානයේ (US Central Command) ප්රකාශකයෙකු ද ඉරානයේ මුහුදු බෝම්බ සම්බන්ධ ප්රකාශ ප්රතික්ෂේප කර ඇත.
ජාත්යන්තර නාවික ගමනාගමන මාර්ගවලින් මුහුදු බෝම්බ ඉවත් කර ඇති බවත්, ඉරානය මේ වන විට මිසයිල සහ ඩ්රෝන යානා භාවිත කරමින් ප්රහාර එල්ල කරන බවත් එම ප්රකාශකයා පවසා තිබේ.
ඔහුට අනුව, සමුද්ර සන්ධිය තවදුරටත් විවෘතව පවතින අතර, නෞකාවලින් සියයට 95ක් පමණ එම මාර්ගය හරහා ගමන් කිරීමට සමත් වේ.
ඇමෙරිකාව විසින් පනවා ඇති අවහිර කිරීම හේතුවෙන් සිය හමුදා හැකියාවන් යළි ගොඩනැගීමට අවශ්ය සම්පත් ලබාගැනීම ඉරානයට අපහසු වී ඇති බවත්, එම තත්ත්වය හමුවේ ඉරානය පීඩනයට පත්ව සිටින බවත් ඇමෙරිකානු හමුදා ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් දිනෙන් දින ප්රහාරවලට ලක්වන නෞකා සහ තෙල් ප්රවාහන නෞකා සංඛ්යාව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ඉරානය පෙර නොවූ විරූ තරම් සූදානමින් සිටින බවත්, ඇමෙරිකාව සමඟ සමාන මට්ටමේ යුද්ධයක් පැවැත්වීමට ප්රමාණවත් අවි ආයුධ සහ උපකරණ නිෂ්පාදනය කර ඇති බවත් IRGC ප්රධානියා ප්රකාශ කර ඇත.