
සිලෝන් ටුඩේ පුවත්පතෙහි පළ වු තමන්ගේ ලිපියක් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමෙහි බෙදා ගත් මාධ්‍යවේදී සුලෝචනා රාමයියාමොහාන්ගේ ගිණුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සමාගමෙන් කරුණු විමසා ඇති බව වාර්තා වේ.
එක්ස් සමාජ මාධ්‍ය සමාගම මේ සම්බන්ධයෙන් විද්‍යුත් ලිපියක් යොමු කොට සිය පරිශීලිකාවක වන සුලෝචනා රාමයියාමොහාන් දැනුවත් කර තිබේ.
එම දැනුම් දීමට අනුව ආණ්ඩුවේ බලශක්ති අර්බුදයට අදාළව ඇය ලියූ Govt seeks time to address power ministry issue යන හිසින් යුතු ලිපියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු විමසීම සිදු කර ඇත.
එක්ස් සමාගම පවසන්නේ ඇගේ ලිපිය ලංකාවේ නීතිය උල්ලංඝනය කරන කරුණුවලින් යුක්ත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බවයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ලිපිය විමසුමට ලක් කරන ලද අතර පුවත්පතෙහි පළ වූ ලිපියෙහි හෝ පසුව එක්ස් ගිණුමෙහි එය ඈඳමින් බෙදාගත් සටහනෙහි අනීතික කරුණු කිසිවක් දාශ්‍යමාන නොවේ.
එබැවින් මාධ්‍යවේදී සුලෝචනාගේ එම පළකිරීම ඉවත් කිරීමට හෝ ඇගේ ගිණුම අවහිර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සමාගමෙන් ඉල්ලා සිටීමේ සැබෑ හේතුව පැහැදිලි නැත.
එහෙත් මෙම සිදුවීම ප්රකාශනයේ නිදහස කෙරෙහි අනිසි ලෙස අතපෙවීමේ බරපතල සිදුවීමක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි. මේ සම්බන්ධයෙන් දේශීය සහ ගෝලීය වශයෙන්, අදාළ සියලු පාර්ශව දැනුවත් කිරීමට පියවර ගන්නා අතර තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
එසේම බරපතල දූෂණයක් ලෙස චෝදනා නැගී ඇති බලශක්ති අර්බුදයට අදාළ පළකිරීම් සිදු කිරීම නිසා මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියාමොහාන් කිසියම් අවදානමකට ගොදුරු වීමට ඉඩ ඇතිද යන්නද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විමසුමට ලක්ව තිබේ..
ලසන්ත ද සිල්වා කැඳවුම්කරු දිලීෂා අබේසුන්දර ලේකම්