
විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචාවක් සිදු කිරීම
සම්බන්ධයෙන් වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා
වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වන රනිල් තරංග
විතාරණ නැමැත්තා මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී මෙම සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව මේ මස 24
වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන
මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය නියෝග කළා.
මීගමුව, තලාදූව පාරේ ශාන්ත මරියා ගොරට්ටි මාවතේ පදිංචි
පුද්ගලයෙකුගෙන් ඊශ්‍රායෙල් රාජ්‍යයේ විදේශ රැකියාවක් ලබාදෙන
බවට වු පොරොන්දුවක් මත රුපියල් 230,000 ක මුදලක් ලබාගත්
බවත් එම මුදලින් පළමුව රුපියල් 200,000 ක මුදලක් මෙම
සැකකරුගේ බැංකු ගිණුමකට තැන්පත් කර ගත් බවත් එලෙසම
ඉතිරි මුදල වන රුපියල් 30,000 ක මුදල අත්පිට ලබා දුන්
බවත්, කලක් ගත වුවත්, පොරොන්දු වූ පරිදි තමාව ඊශ්‍රායෙල්
රාජ්‍යයේ රැකියාවකට යොමු නොකර තම මුදල් වංචා කළ බවත්
පවසමින්, මෙම සැකකරු වෙත මුදල් ලබා දුන් පුද්ගලයා විසින්
විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට
පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එහෙත් මෙම සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ ගත රැකියාවන්
සඳහා පුද්ගලයින් යොමු කිරීම සඳහා වලංගු බලපත්‍රයක් ලබාදී
නොමැති අතර, ඒ අනුව මෙම මුදල් ගනුදෙනුව විදේශ රැකියාවක්
ලබා දෙන පොරොන්දුව මත ලබාගත් මුදලක් බවට සනාථ කිරීම
සඳහා අවශ්‍ය ලේඛන කිසිවක් මෙම මුදල මෙම සැකකරු වෙත
ලබා දුන් පැමිණිලිකරු සන්තකයේ නොමැති නිසා විදෙස් සේවා
නියුක්ති කාර්යාංශය මගින් ඉදිරි කටයුතු කරගෙන යාමට හැකියාවක්
නොමැති බවත් එවැනි තත්ත්වයක් තුළ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන්
සුදුසු පියවරක් ගෙන පැමිණිලිකරු වෙත සහනයක් සලසා දෙන ලෙස
විදෙස් සෙවා නියුක්ති කාර්යාංශය මගින්, මීගමුව පොලිස් තනාධිපතිවරයා
වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකොට ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ මීගමුව පොලිසිය මගින් මෙම සැකකාර ප්‍රාදේශීය
සභා මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය
වෙත ඉදිරිපත් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය එළඹෙන 24 වැනි දින
(24/06/2026) පැවැත්වීමට නියමිතයි.