
ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට වෙසක් උත්සවයට පසුව ලැබෙන ඉතාමත් වැදගත් සහ උදාවර වූ ආගමික උත්සවය වන මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කරවු උතුම් පොසොන් පොහොය මෙවර ජුනි මස 29 වන දිනට යෙදී තිබෙනවා.
සුපුරුදු ලෙස පොසොන් මංගල්‍යයේ ප්‍රධානතම රාජ්‍ය උත්සවය මෙවර අනුරාධපුරය අටමස්ථානය, මිහින්තලය පුදබිම සහ තන්තිරිමලය රජමහ විහාරස්ථානය යන ඓතිහාසික පුදබිම මුල්කරගෙන සිදු කරනු ලබන අතර එයට සමගාමීව දිවයින පුරා බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම, පොසොන් තොරණ / පහන් කුඩු ප්‍රදර්ශනය කිරීම පොසොන් කලාප පැවැත්වීම, දන්සැල් පැවැත්වීම ඇතුළු විවිධ ආගමික උත්සව පැවැත්වීමට නියමිත අතර එම අවස්ථාවන් සඳහා පෙර වර්ෂ වලදී මෙන් මහජනතාව සහ බැතිමතුන් විශාල වශයෙන් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව, එලෙස පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා පොලිසිය සතු රාජකාරි වගකීමක් වන බැවින් මෙදිනට අදාල සියළුම පොලිස් බල ප්‍රදේශ සඳහා විධිමත් ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා විසින් සියළුම ස්ථානාධිපතිවරුන් ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙතඋපදෙස් ලබාදී ඇත. ඒ අනුව, සෑම පොලිස් වසමක් තුලම දිවා/රාත්‍රී වශයෙන් ජංගම සංචාර, පාමුර / පාපැදි, බිට්ටු සංචාර හා යතුරු පැදි සංචාර ක්‍රියාත්මක කර, ප්‍රදේශය තුල මනා සංචාරක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර අධික රථවාහන ගහනයක් ඇති වීමට ඉඩ ඇති ස්ථාන ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් යෙදවිමට පියවර ගෙන තිබෙනවා. මෙම කාලසීමාව තුල බුද්ධි නිලධාරින් යොදවා නීති විරෝධී ක්‍රියා මත්ද්‍රව්‍ය පිලිබඳව තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙන අතර, මහා මාර්ගයේ ධාවනය වන රථ වාහන රිය අනතුරු වලට තුඩු දෙන බීමත්ව රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම හා අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතර එවැනි රියදුරන්ට එරෙහිව නෛතිය ක්‍රියා මාර්ග ගැනීමට ක්‍රියා කරනු ඇත. මෙම කාලසීමාව තුල පුජනීයත්වයට හානිදායක වන ලෙසට හා ආගමික අවස්ථාවන්ට සහභාගි වන බැතිමතුන්ට පීඩාකාරි වන ලෙස කටයුතු කරන ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර අවධානයෙන් සිට ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. එබැවින් පොසොන් උත්සව කාලසීමාව තුළ සාමයට බාධා නොවන ලෙස, ආගමික කටයුතු පවත්වා ගෙන යාම සඳහා විශේෂයෙන් පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. *අන් අයට බාධා වන සහ පීඩාකාරි වන ලෙස අධික ශබ්ද නිකුත් වන නලා වාදනය කරමින් පොදු ස්ථානයන්හි හැසිරීමෙන් වැළකීම. *දන්සල් හා තොරණ අසල අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ උත්සවයට නොගැලපෙන ගීත ප්‍රචාරය කිරීමෙන් වැළකීම. *ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් අන් අයට බාධා නොවන පරිදි කටයුතු කිරීම මෙන්ම නීත්‍යානුකූල ක්‍රමවේදය අනුව අවසර ලබා ගනිමින් එම කටයුතු සිදු කිරීම. *අනුරාධපුරය වැනි ප්‍රදේශ වල වැව් සහ අනෙකුත් ජලාශ වල දිය නෑමේදී අතිශයින්ම ප්‍රවේශම් වන්න. දිය නෑම තහනම් කර ඇති හෝ අනතුරුදායක යැයි නම් කර ඇති ස්ථාන වලට බැසීමෙන් සම්පුර්ණයෙන්ම වළකින්න. *දන්සල් පවත්වන කණ්ඩායම් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම.