රාජ්‍ය ඩිජිටල් ගෙවීම් පද්ධතියේ අනාගත සැලසුම් එලි දක්වයි
තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ලංකාපේ (LankaPay) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay හි වර්ධනය සහ සාර්ථකත්වය පෙන්වා දෙමින් මාධ්‍ය හමුවක් අද දින (2025 ජූලි 14) ICTAහි දී පවත්වන ලදී. මෙම හමුවේදී, ස්ථානීය රථවාහන දඩ ගෙවීමේ පද්ධතියේ (online traffic fine payment system) නියමු ව්‍යාපෘතිය පිළිබඳවද කරුණු හෙළිදරව් වූ අතර, වැඩි දියුණු කරන ලද GovPay.lk වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ද සනිටුහන් විය.
ගරු ජනාධිපතිතුමා විසින් 2025 පෙබරවාරි 7 වන දින නිල වශයෙන් දියත් කළ දා සිට, GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව රාජ්‍ය ආයතන පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කර ඇත. අද වන විට, GovPay රාජ්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවක් මෙම වේදිකාවට සාර්ථකව සම්බන්ධ කරගෙන ඇති අතර, රාජ්‍ය සේවා 700කට වැඩි ප්‍රමාණයක් සඳහා ඩිජිටල් ගෙවීම් සිදු කිරීමට පහසුකම් සලසා ඇත. GovPay හරහා අද වන විට ගනුදෙනු 7024ක් සිදු කර ඇති අතර මේ හරහා රාජ්‍ය ආදායම ලෙස එකතු කර ගෙන ඇති මුදල රුපියල් මිලියන 65.62 ඉක්මවයි.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ගරු එරංග වීරරත්න මහතා මෙසේ සඳහන් කළේය: "දිවයින පුරා රාජ්‍ය ආයතන 50ක් කරා ළඟා වීම හුදෙක් සන්ධිස්ථානයක් පමණක් නොව, ශ්‍රී ලංකාව භෞතික මුදල් භාවිතයෙන් තොර සමාජයක් වෙත ගැන යාමේදී GovPay විසින් ඉටු කරන පුරෝගාමී කාර්යභාරය පැහැදිලි කරයි. රාජ්‍ය ගෙවීම් ඩිජිටල්කරණය කිරීමෙන්, අපි රාජ්‍ය සේවාවන් වඩාත් ප්‍රවේශ විය හැකි සහ කාර්යක්ෂම කරමින් සිටින අතර, සෑම පුරවැසියෙකුටම රටේ ආර්ථිකයට වඩාත් ක්‍රියාශීලීව සහභාගී වීමට බලය ලබා දෙන්නෙමු. මෙය තාක්ෂණික පරිවර්තනයකට වඩා එහා ගිය, සියලු පුරවැසියන් ආර්ථිකට දායක කර ගනිමින්, ආර්ථික බලගැන්වීම සහ විනිවිදභාවය වෙත යන පරිවර්තනීය පියවරකි."
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ICTA හි සභාපති, ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා අවධාරණය කළේ: "GovPay, ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ආර්ථිකයක් කරා යන ගමනේ තීරණාත්මක පියවරක් නියෝජනය කරයි. මෙය සෑම පුරවැසියෙකුටම රජයේ සේවාවන් සඳහා පහසුවෙන් සහ සරලව ගෙවීම් කිරීමට අවස්ථාව සලසයි. GovPay යනු අවශ්‍යතාවය අනුව වර්ධනය කළ හැකි වේදිකාවක් වන අතර, දැනට අප හා සම්බන්ධ වී ඇති ආයතන ප්‍රමාණය 50කට වැඩි වන අතර ඉදිරියේදී මෙය ශීඝ්‍රයෙන් වර්ධනය වනු ඇතැයි අපි විශ්වාස කරමු. එය සැමට ප්‍රවේශ විය හැකි සහ විශ්වාසනීය ඩිජිටල් පරිසර පද්ධතියක් ස්ථාපිත කිරීමට මග පාදනු ඇත."
ICTA අධ්යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය: "ආයතන 50ක් කරා ළඟා වීම වැදගත් සන්ධිස්ථානයක් වුවද, අපගේ සැබෑ ගමන දැන් ආරම්භ වේ. ඉදිරි මාස කිහිපය තුළ රාජ්‍ය ආයතන 100කට අධික සංඛ්‍යාවක් GovPay සමග සම්බන්ධ කර ගැනීමත්, මෙම සේවාවන් හරහා ඩිජිටල් ගෙවීම් පුළුල් ලෙස පුරවැසියන් අතරට ගෙන යාමත් අපගේ ඉලක්කයයි. ඉදිරි මාස 12 තුළ ගනුදෙනු වටිනාකම රුපියල් බිලියනයක් ඉක්මවා යාම අපේ අපේක්ෂාවයි. මෙමගින් පුරවැසියන්ට අසමසම පහසුවක් ලබා දෙන අතර, සැබවින්ම ඩිජිටල් රාජ්‍යක් ගොඩනැගීම උදෙසා වූ ශ්‍රී ලංකාවේ දැක්ම ඉදිරියට ගෙන යමින්, ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් අත්කර ගැනීමේ රජයේ අභිලාෂයට ලඟා වීමට අර්ථවත් ලෙස දායක වනු ඇත."
මෙම වේදිකාවේ ඉහළම කාර්ය සාධනයක් පෙන්නුම් කරන ආයතන අතර මොරටුව විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, කාර්මික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව, සහ අපේක්ෂා රෝහල ඇතුලත් වේ. මෙම සෑම ආයතනයක්ම ඉහළ ගනුදෙනු පරිමාවක් සහ මහජන විශ්වාසයක් පිළිබිඹු කරයි.
මීට අමතරව, ICTA විසින් ස්ථානීය රථවාහන දඩ ගෙවීමේ පද්ධතියේ (online traffic fine payment system) ප්‍රගතියද ප්‍රකාශයට පත් කරන ලදී. 2025 අප්‍රේල් මාසයේදී තෝරාගත් පොලිස් කොට්ඨාස හරහා නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කරන ලද මෙම පද්ධතිය හරහා දැනටමත් රථ වාහන දඩ 461ක් ගෙවා ඇති අතර, රුපියල් 739,500කට අධික මුදලක් මේ හරහා එකතු කර ඇත. මෙම නියමු ව්‍යාපෘතිය දැනට කුරුණෑගල, අනුරාධපුර, දඹුල්ල, කැකිරාව, සහ අවට කොට්ඨාසවල ක්‍රියාත්මක වේ.
LankaPay හි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා ද මෙසේ නිවේදනය කළේය: "GovPay යනු පුරවැසියන් කේන්ද්‍ර කරගත් ඩිජිටල් ගෙවීම් සේවාවකි. මේ හරහා රජයට කාර්යක්ෂමව ආදායම් රැස් කිරීමට හැකියාව ලබා දෙන අතර, පුරවැසියන්ටද විශාල පහසුවක් සලසයි. දැනට පවතින ගිණුම් මත පදනම් වූ ගෙවීම් වලට අමතරව, ඉදිරියේදී ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් මගින් ගෙවීමේ පහසුකම එක් කිරීමෙන් මෙම සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නවතම විශේෂාංගය සමඟින්, විදේශයන්හි සිට වුවද තම ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් කිරීමට පුරවැසියන්ට ඉඩ සැලසීම තුළින් GovPay වඩාත් ප්‍රවේශ විය හැකි සහ නම්‍යශීලී වනු ඇත. LankaPay ආයතනය, මෙම පුරෝගාමී ව්‍යාපෘතියේ තාක්ෂණික හවුල්කරු වීම පිළිබඳව අභිමානයට පත් වන අතර මෙම වසර අවසන් වීමට පෙර රාජ්‍ය ආයතන 150කට අධික සංඛ්‍යාවක් GovPay හා ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වේ".
දැක්ම තවදුරටත් පුළුල් කරමින්, ICTA හි ප්‍රධාන විධායක නිලධාරී (වැඩබලන) සංජය කරුණාසේන මහතා ප්‍රකාශ කළේ: "GovPay, ශ්‍රී ලංකාවේ ගෙවීම් සඳහා ආරක්ෂිත, අවශ්‍යතාවය අනුව වර්ධනය කළ හැකි, සහ අන්තර් ක්‍රියාකාරී ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructure: DPI) ස්ථාපිත කිරීමේ පළමු පියවර සනිටුහන් කරයි. අපේක්ෂිත Payment DPI, බහු-ජාල සහභාගීත්වයට සහාය දක්වන open-loop පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. අපගේ දැක්ම වන්නේ රාජ්‍ය ගනුදෙනු විධිමත් කිරීම, පෞද්ගලික අංශයේ නවෝත්පාදන පෝෂණය කිරීම, වෙළඳපල තරඟකාරිත්වය දිරිමත් කිරීම, සහ ගනුදෙනුකරුවන්ගේ මධ්‍යස්ථභාවය සහතික කිරීමයි."
මාධ්‍ය හමුවේදී වැඩි දියුණු කරන ලද GovPay.lk වෙබ් අඩවිය ද එළිදක්වන ලද අතර, එය වඩා හොඳ පරිශීලක අතුරුමුහුණතක් (user interface) සහ ගනුදෙනු පරිමාවන්හි සහ ආයතනික කාර්ය සාධනයේ වඩා හොඳ අදහසක් ලබා ගැනීමට යාවත්කාලීන දර්ශක (real-time dashboards) වලින් සමන්විත වේ.
සේවා සැපයීම වැඩිදියුණු කිරීමට, විනිවිදභාවය ඉහළ නැංවීමට, සහ මෙහෙයුම් වියදම් අඩු කිරීමේ අරමුණ පෙරදැරිකරගෙන GovPay සමඟ ඒකාබද්ධ වන ලෙස ICTA සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. සෑම ආයතනයකටම සම්බන්ධීකරණ නිලධාරියෙකු නම් කිරීමටත්, වහාම GovPay හා සම්බන්ධ වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙසත් ඉල්ලා සිටී.
පුරවැසියන් ද, GovPay වේදිකාව හරහා බැංකු හෝ FinTech Apps භාවිතයෙන් රාජ්‍ය ආයතන වලට ගෙවීම් සිදු කිරීමට උනන්දු වන ලෙස මෙහිදී ඉල්ලීමක් කරන ලදී. මෙම සේවාවන් දැන් 24/7 පදනම මත ආරක්ෂිත සහ සරල ක්‍රියාවලියකින් ලබා ගත හැකි අතර, දෛනික ගනුදෙනු පහසුවෙන් සහ වගවීමක් සහිතව ඉටු කල හැකි ආකාරයට නිර්මාණය කර ඇත.
"ICTA, LankaPay, සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එකට එක්ව,සියලුම ශ්‍රී ලාංකිකයන් පෙර දැරි කරගෙන ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට වග වන අතර එමගින් සෑම පුරවැසියෙකුටම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ ප්රතිලාභ අත්විඳීමට හැකි බවට සහතික වීමට කැපවී සිටී."