
2018 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හිදී සිදුවූ ආන්දෝලනාත්මක පන්දුව පළුදු කිරීමේ සිදුවීම (Sandpapergate) පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සියලුම දෙනා දැන සිටි බවට හිටපු ටෙස්ට් පිතිකරු උස්මාන් කවාජා සිය නවතම කෘතියෙන් (Sabr) කර ඇති ප්‍රකාශය ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අද (13) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැට් කමින්ස් මේ බව අවධාරණය කර සිටියා.
කැමරන් බැන්ක්‍රොෆ්ට් පිටියට වැලි කඩදාසියක් (Sandpaper) රැගෙන යන බව කණ්ඩායමේ සියලු දෙනා දැන සිටි බවට කවාජා කරන ප්‍රකාශය "සියයට සියයක්ම වැරදි" බවයි කමින්ස් පවසා සිටියේ.
පන්දුව පළුදු කිරීමට කිසිදු පෙර සැලසුමක් හෝ කණ්ඩායම් රැස්වීමක් නොතිබූ බවයි ඔහු අවධාරණය කළේ.
කවාජා තමන්ගේ සහ සෙසු ක්‍රීඩකයින්ගේ ජීවිත හා කීර්තිනාමය සම්බන්ධයෙන් ඉතා නොසැලකිලිමත් ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බවත්, ඔහු කණ්ඩායමේ සගයන් අපහසුතාවයට පත් කර ඇති බවත් කමින්ස් සඳහන් කර සිටියේ.
මේ හේතුවෙන් තම පවුලේ ජීවිතයට පවා දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
සමේ වර්ණය නිසා තමන්ට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය අහිමි වූ බවට කවාජා සිය පොතේ සඳහන් කර ඇති ප්‍රකාශය ද කමින්ස් තරයේ ප්‍රතික්ෂේප කර සිටියා.
එවැනි බරපතළ ප්‍රකාශයක් කිරීමට පැහැදිලි සාක්ෂි තිබිය යුතු බවත්, ඕස්ට්‍රේලියානු නායකත්වය සඳහා සමේ වර්ණය බලපාන බවට කිසිසේත් එකඟ විය නොහැකි බවත් කවාජාට තමන්ගේ කතාව කීමට අයිතියක් තිබුණද, ඔහු ඉදිරිපත් කර ඇති කරුණු සත්‍යයෙන් තොර බව පැට් කමින්ස් වැඩිදුරටත් පවසා සිටියේ.