
හිරු රූපවාහිනී නාලිකාව ඇතුළු පෞද්ගලික නාලිකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතට වැටෙන ආයතනයක් (පොදු අධිකාරියක්) බවට තොරතුරු කොමිෂන් සභාව ලබා දුන් තීන්දුව ස්ථිර කරමින් අභියාචනාධිකරණය ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකා යනු හුදු ලාභ ලබන ආයතන පමණක් නොව, මහජන යහපත උදෙසා වගකීම් සහගතව ක්‍රියා කළ යුතු පොදු කාර්යයක් ඉටුකරන ආයතන බව විනිසුරු මඬුල්ල මෙහිදී අවධාරණය කළා. මෙම නීතිමය තත්ත්වය උද්ගත වූයේ අලවතුගොඩ ප්‍රදේශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වරද පිළිගත් බවට හිරු රූපවාහිනිය 2023 අගෝස්තු 23 දින ප්‍රචාරය කළ පුවතක් හේතුවෙන්. අදාළ පුවත අසත්‍ය බව පවසමින් සැකකරුගේ මව වන එම්.ජේ.කේ. දිසානායක මහත්මිය එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොතිබුණු අතර අනතුරුව ඇය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ අදාළ පුවත තහවුරු කරගත් ආකාරය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියද හිරු ආයතනය එය ප්‍රතික්ෂේප කර තිබුණා. ඇය මේ සම්බන්ධයෙන් තොරතුරු කොමිෂන් සභාව වෙත කළ අභියාචනය විභාග කළ කොමිසම තීන්දු කළේ, හිරු රූපවාහිනිය යනු තොරතුරු පනත යටතට වැටෙන පොදු අධිකාරියක් බවයි. ඒ අනුව අදාළ පුවතේ වගකීම දැරූ පුවත් සංස්කාරක සහ අධ්යක්ෂවරයාගේ නම් හෙළි කරන ලෙස කොමිසම නියෝග කළා.
මෙම තීන්දුවට එරෙහිව හිරු ආයතනය අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළද, අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ සහ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් එම පෙත්සම ගාස්තුවලට යටත්ව ප්‍රතික්ෂේප කරමින් කොමිසමේ තීන්දුව තහවුරු කළා. මාධ්‍ය ආයතන භාවිතා කරන ගුවන් තරංග යනු රජයට හෝ පෞද්ගලික සමාගමකට අයිති දෙයක් නොව මහජන දේපොළක් බවත්, ඒවා විනිවිදභාවයෙන් හා සත්‍යගරුකව භාවිතා කිරීමට එම ආයතන බැඳී සිටින බවත් අධිකරණය පෙන්වාදුන්නා. යම් පුවතක සංස්කාරකවරයාගේ නම හෙළි කිරීම මාධ්‍ය නිදහස සීමා කිරීමක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කිරීමක් බව විනිසුරු මඬුල්ල අවධාරණය කළා. එමෙන්ම, රාජ්‍ය මාධ්‍ය සතු නෛතික වගකීම පෞද්ගලික නාලිකාවලට ද පොදු බවත්, පුවත් පළ කිරීමේදී ඒවායේ නිරවද්‍යතාවය හා මධ්‍යස්ථභාවය රැකීම අනිවාර්ය බවත් තීන්දුවේ සඳහන් වනවා. ඒ අනුව පුවතක මූලාශ්‍ර තහවුරු වී ඇතිදැයි දැනගැනීමට ප්‍රේක්ෂකයාට පූර්ණ අයිතියක් ඇති බවත්, තොරතුරු හෙළි නොකිරීමට මාධ්‍ය ආයතන ඉදිරිපත් කරන තර්ක පිළිගත නොහැකි බවත් අධිකරණය වැඩිදුරටත් තීන්දු කළා