
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට ලබාගත් සත්මහල් ගොඩනැගිල්ලක කුලී මුදල් ගෙවීමේ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ලිපිකරුවකු වන ආපනශාලා හිමිකරු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළා. අල්ලස් කොමිසම මගින් අමාත්‍යාංශ ආපනශාලා පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බණ්ඩාරගම පදිංචි උක්වත්තගේ ඩග්ලස් නමැති සැකකරුවකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2018 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට කුලියට ලබාගෙන තිබූ තට්ටු හතක ගොඩනැගිල්ලක් සඳහා මාසිකව කුලී මුදල් ගෙවීමේදී රුපියල් කෝටි දෙකක අල්ලසක් චෙක්පත් 7 ක් මගින් ලබා ගැනීමේ සැකයට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය. සැකකරු අදාළ අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරුවකුව සිට විශ්‍රාම ගිය පසුව අමාත්‍යාංශයේ ආපනශාලා හිමිකරු වී ඇති බවද, රුපියල් ලක්ෂ පන්සීයකට ආසන්න වටිනාකමින් යුත් කුලී මුදල් චෙක්පත් පැමිණිලිකරුට ලබාදීමේදී ලක්ෂ විසි පහ බැගින් මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවද කරුණු ඉදිරිපත් කළා. 2023,2024 හා2025 වර්ෂ වලට අදාල එම චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීමට එක් අවස්ථාවකදී ලක්ෂ විසිපහ ඛැගින් වූ මුදලක් සැකකරුට ලබා දුන් බවට විමර්ශන මගින් කරුණු අනාවරණය වී ඇති බවටද කරුණු ඉදිරිපත් කර ඇත. සැකකරු විසින් අදාල චෙක්පත් වෙනත් පුද්ගලයින් හරහා බැංකු මගින් මාරු කරගෙන ඇති බවත්, එම සාක්ෂිකාර පුද්ගලයින්ට සැකකරුගෙන් බලපෑම් ඇති විය හැකි බැවින් විමර්ශන අවසන් වන තෙක් බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් නොමැති බැවින් හා සාක්ෂිකරුවන්ට සැකකරුගෙන් එල්ල විය හැකි බලපෑම් සලකා බලා ලබන 17 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට දන්වා සිටියා.