
ඉන්දියාවේ මැතිවරණ ප්රතිසංස්කරණ සිදුකරන ලෙස ඉල්ලා දිල්ලියේ පැවැත්වීමට සුදානම් වූ විරෝධතාවට සහභාගි වීමට පැමිණි ‘කොක්රෝච් ජනතා පක්ෂයේ’ (Cockroach Janta Party – CJP) නායකයන් ඇතුළු විරෝධතාකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ජෙනරේෂන් Z තරුණ පරපුරේ මූලිකත්වයෙන් ක්රියාත්මක වන මෙම ව්යාපාරයේ නිර්මාතෘ අභිජීත් ඩිප්කේ ඇතුළු නායකයන් තිදෙනකු මුම්බායි සිට දිල්ලිය බලා පැමිණි ගුවන් යානයේදී අත්අඩංගුවට ගත් බව එම සංවිධානය පවසයි.
සෞරව් දාස් සහ අෂුතෝෂ් රන්කා යන අනෙකුත් නායකයන් දෙදෙනා ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් රඳවාගෙන සිටින ස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය කර නොමැති බව සංවිධානය චෝදනා කරයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් දිල්ලි පොලිසිය මෙතෙක් නිල ප්රකාශයක් නිකුත් කර නොමැත.
විරෝධතාව පැවැත්වීමට නියමිතව තිබූ දිල්ලියේ ජන්තාර් මන්තාර් ප්රදේශයට ඇතුලුවිමට අවසර ලබා නොදීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර, නගරය පුරා ආරක්ෂක අංශ සාමාජිකයන් විශාල පිරිසක් යොදවා මාර්ග රැසක් අවහිර කර තිබිණි.
දැඩි ආරක්ෂක විධිවිධාන මධ්යයේ වුවද විරෝධතාව අත් නොහරින බව සංවිධායකයෝ අවධාරණය කළහ.
අත්අඩංගුවට පත්ව සිටින නායකයන් වෙනුවට සංවිධානයේ නව නායකයා ලෙස නම් කර ඇති අජින්ක්යා ෂින්ඩේ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ පොලිසිය ඔවුන් නතර කරන ඕනෑම ස්ථානයක් තමන්ගේ ‘ජන්තාර් මන්තාර්’ බවට පත්කර ගන්නා ලෙසයි.
මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්ය ක්රියාකාරිනියක වන නේහා බෝරා ද විරෝධතාකරුවන්ට අඛණ්ඩව සටනේ රැඳී සිටින ලෙස ඉල්ලා තිබිණි.
ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිත තීරණාත්මක ප්රාන්ත මැතිවරණවලට පෙර මැතිවරණ ක්රියාවලියේ වෙනස්කම් සිදුකරන ලෙස මෙම ව්යාපාරය බලකර සිටියි.
එමෙන්ම, ඡන්දදායක නාමලේඛන හසුරුවීමේදී අක්රමිකතා සිදුකරන බවට චෝදනා කරමින් ඉන්දීය ප්රධාන මැතිවරණ කොමසාරිස් ග්යානේෂ් කුමාර් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ද එම සංවිධානය ඉල්ලා සිටියි.
කුමාර්ගේ නායකත්වය යටතේ ඉන්දීය මැතිවරණ කොමිසම රට පුරා ඡන්දදායක නාමලේඛන යාවත්කාලීන කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්රියාත්මක කරමින් සිටියි.
මියගිය පුද්ගලයන්ගේ නම්, එකම පුද්ගලයාගේ නැවත ඇතුළත් කිරීම් සහ ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් නොමැති පුද්ගලයන්ගේ නම් ඉවත් කිරීම සඳහා සිදුකරන සාමාන්ය ක්රියාවලියක් බව කොමිසම පවසයි.
එහෙත් ප්රාන්ත කිහිපයකම මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැඩි මතභේද හටගෙන ඇති අතර, තම නම් වැරදි ලෙස ඡන්දදායක ලැයිස්තුවලින් ඉවත් කර ඇති බවට දසදහස් ගණනක් පුද්ගලයන් චෝදනා කර තිබේ.
කොක්රෝච් ජනතා පක්ෂය සහ ඉන්දීය විපක්ෂයේ ඇතැම් පක්ෂ චෝදනා කරන්නේ නාමලේඛන යාවත්කාලීන කිරීමේ ක්රියාවලිය තුළින් අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) වාසි සැලසෙන බවයි.
මැතිවරණ කොමිසම සහ භාරතීය ජනතා පක්ෂය එම චෝදනා ද ප්රතික්ෂේප කර ඇත.
දිල්ලිය බලා පැමිණීමට පෙර අදහස් දක්වමින් ව්යාපාරයේ නිර්මාතෘ අභිජීත් ඩිප්කේ ප්රකාශ කර තිබුණේ සිරගත කිරීමේ තර්ජන හෝ බියගැන්වීම් හරහා තමන්ගේ ව්යාපාරය නතර කළ නොහැකි බවයි.
“සිරගත කරන බවට තර්ජනය කිරීමෙන් හෝ සිරගෙදරට යැවීමේ බිය ඇති කිරීමෙන් අපව නතර කළ හැකි යැයි සිතන්නේ නම්, ඔබ වැරදියි” යනුවෙන් ඔහු පවසා තිබිණි.
දිල්ලියට පැමිණීමට අපේක්ෂා කළ විරෝධතාකරුවන්ගෙන් විශාල පිරිසකට දැඩි ආරක්ෂක විධිවිධාන සහ මාර්ග බාධක හේතුවෙන් ජන්තාර් මන්තාර් ප්රදේශයට ළඟාවීමට නොහැකි වූ බව වාර්තා වේ.