
යේමනයේ බටහිර පෙරමුණේ සිදුවූ පරාජයෙන් පාඩම් ඉගෙන ගනිමින් සෞදි නායකත්වයෙන් යුත් ඒකාබද්ධ හමුදා සිය C6ISR පද්ධතිය ශක්තිමත් කරයි
යේමනයේ බටහිර පෙරමුණේ හුති සටන්කාමීන් ලබාගත් සාර්ථකත්වය හුදෙක් ඔවුන්ගේ සංඛ්යාත්මක බලය හේතුවෙන් සිදුවූවක් නොවේ. එය පිටුපස තිබුණේ රුසියානු අභ්යවකාශ මූලික බුද්ධි හැකියාවන්, ඉරාන නායකත්වයෙන් යුත් විධාන හා පාලන පද්ධතියක් සහ හුති මෙහෙයුම් සමඟ සම්බන්ධ වූ මානව බුද්ධි ජාලයක එකතුවකි. එහෙත් අද එම පද්ධතියම දැඩි පීඩනයකට ලක්වෙමින් තිබේ.
මෙහි ඇති වැදගත්ම වෙනස වන්නේ සටන් බිමේ සිදුවන සෘජු ගැටුමකට වඩා, බුද්ධි තොරතුරු එකතු කිරීම, විශ්ලේෂණය කිරීම, විධාන නිකුත් කිරීම සහ ඒවා ක්රියාත්මක කිරීම අතර සම්බන්ධතාවය ඉලක්ක කරමින් සිදුවන නව ආකාරයේ බුද්ධි යුද්ධයකි.
චන්ද්රිකා බුද්ධියෙන් ගොඩනැඟුණු සටන් බිමේ චිත්රය
Project AURORAH හරහා වර්ධනය කළ GEOINT සහ SIGINT ඒකාබද්ධ කිරීමේ පද්ධතිය මඟින්, ඉරාන–ඇමරිකානු යුද්ධ සමයේ සෞදි අරාබිය, කුවේට්, කටාර්, බහරේන්, ඉරාකය, ඊශ්රායලය, එක්සත් අරාබි එමීර් රාජ්යය සහ ජෝර්දානය ආශ්රිතව සිදු වූ රුසියානු හමුදා ඔත්තු බැලීම් අනුක්රමිකව හඳුනා ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට හැකි විය.
එම ව්යාපෘතිය යටතේ ක්රියාත්මක වූ විශේෂ ප්රවේශ වැඩසටහනක් හරහා රුසියානු කක්ෂීය බුද්ධි තොරතුරු එකතු කිරීම තනි බහු-සංවේදක පද්ධතියක් ලෙස ප්රතිනිර්මාණය කිරීමට ද හැකි විය.
ඉරාන හමුදා විසින් කලාපයේ විවිධ ඉලක්ක වෙත සිදුකළ නිරවද්ය ප්රහාරවලට පෙර සිදුවූ රුසියානු බුද්ධි ක්රියාකාරකම්ද එහිදී අධ්යයනය කෙරිණි.
පසුව එම කාර්යය මැද පෙරදිග ඉරාන නිරවද්ය ඉලක්කගත ප්රහාර සඳහා රුසියානු හමුදා භූගෝලීය චන්ද්රිකා බුද්ධි සහාය පිළිබඳ CNN විමර්ශනයකට ද සැලකිය යුතු සහායක් ලබා දුන්නේය. මෙහි මූලික පාඩම පැහැදිලිය.
අභ්යවකාශ මූලික ISR — එනම් බුද්ධි, නිරීක්ෂණ සහ ඔත්තු බැලීම — මෙහෙයුම්වලට සහාය වන පසුබිම් මෙවලමක් පමණක් නොවී, ප්රහාරයකට පෙර සටන් බිමේ සම්පූර්ණ මෙහෙයුම් චිත්රය ගොඩනඟන ප්රධාන අංගයක් බවට පත්වෙමින් තිබේ.
GEOINT මඟින් හමුදා බලකායන් ස්ථානගත කර ඇති ආකාරය, ඔවුන්ගේ ගමන් මාර්ග, මූලස්ථාන සහ සැපයුම් ජාලවල වෙනස්කම් හඳුනාගත හැකිය.
SIGINT මඟින් ඉලෙක්ට්රොනික සංඥා, සන්නිවේදන රටා සහ විධාන සම්බන්ධතා පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.
වැදගත් වන්නේ එක් චන්ද්රිකාවක හැකියාව නොව, විවිධ චන්ද්රිකා සහ සංවේදක මඟින් ලබාගන්නා දත්ත කාලයත් සමඟ එකිනෙකට සම්බන්ධ කිරීමයි.
එවිට හමුදා බලකායක් එක් අවස්ථාවක සිටින ස්ථානය පමණක් නොව, එය කොතැනින් පැමිණියේද, කොතැනට ගමන් කරන්නේද සහ එහි හැසිරීම වෙනස් වන්නේ කෙසේද යන්නද හඳුනාගත හැකිය.
යේමනයේදී බුද්ධි ජාලය මෙහෙයුම් බලයක් බවට පත්වීම
යේමනයේදී එම බුද්ධි හැකියාවන් ඉරානය විසින් මෙහෙයුම් මට්ටමේ ඒකාබද්ධ කිරීමක් සමඟ සම්බන්ධ කළ බව මෙම විශ්ලේෂණය පෙන්වා දෙයි.
රුසියානු මූලාශ්රවලින් ලැබුණු බව කියන බුද්ධි තොරතුරු, හුතින්ගේ ක්ෂේත්ර වාර්තා සහ මානව බුද්ධි ප්රවේශය එකට එක් කරමින්, Tariq Saleh යටතේ පැවති ජාතික ප්රතිප්රහරක බලකාය (National - Resistance Forces - NRF) හි විධාන පද්ධතිය පිළිබඳ සවිස්තරාත්මක චිත්රයක් ගොඩනඟා තිබූ බව සඳහන් වේ.
එහිදී අවධානය යොමු වූයේ මූලස්ථානවල සැබෑ තත්ත්වය, ක්ෂේත්ර වාර්තා සහ භූමියේ සැබෑ ස්ථාන අතර වෙනස්කම්, බලකා අතර සම්බන්ධීකරණ දුර්වලතා සහ NRF හා සෞදිය ප්රධාන එකාබද්ධ අණදෙන බලකාය (Saudi-led Joint Forces Command - JFC) අතර සන්නිවේදන හිඩැස් වැනි කරුණු වෙතය.
එවැනි තොරතුරු මගින් බටහිර වෙරළ තීරයේ තිබූ දුර්වලතා හඳුනාගෙන ඒවා ප්රයෝජනයට ගැනීමට හැකියාව ලැබුණු බව මෙම විශ්ලේෂණය පවසයි.
විධාන පද්ධතිය බිඳ වැටුණු මොහොත
බටහිර පෙරමුණේ අර්බුදයේ මූලික ගැටලුව වූයේ බලකා ප්රමාණය නොව, නිවැරදි තොරතුරු ඉහළට ගෙන යාම සහ නිවැරදි විධාන පහළට ගෙන යාම සඳහා අවශ්ය විශ්වාසදායක සම්බන්ධතාවය බිඳ වැටීමයි.
එක් විධාන මාර්ගයක් JFC මූලස්ථානය හා NRF හි කොටස් අතර සම්බන්ධතාවය පවත්වාගෙන ගියේය. තවත් මාර්ගයක් එම බලකායන් එකිනෙකා හා ඔවුන්ගේ ජ්යෙෂ්ඨ විධාන සමඟ සම්බන්ධ කළේය.
මෙම මාර්ග දෙකම අවිශ්වාසදායක වූ විට, වැරදි තොරතුරු ඉහළ විධාන මට්ටම් වෙත ගලා ගියේය. ඒ සමඟම ව්යාකූල හෝ වෙනස් කරන ලද විධාන පහළ මට්ටම් වෙත ගමන් කළේය. එහි ප්රතිඵලය සටන් බිමේදී ඉතා පැහැදිලිව දැකගත හැකි විය.
NRF හි එක් අණදෙන නිලධාරියකුට ආරක්ෂක ස්ථානයක් රඳවා ගැනීමට ලබාදුන් විධානයක් තිබියදීත් පසුබැසීමක් සිදුවිය.
තවත් අවස්ථාවක, NRF නොවන යේමන බලකායක් හමුදා ගුවන් තොටුපළකින් ඉවත් වී ඇති බවට වාර්තාවක් ලබාදී තිබුණද, එහි තවමත් හමුදා සාමාජිකයන් සිටින බව පසුව අනාවරණය විය.
එවැනි වැරදි තොරතුරු හේතුවෙන් මිත්ර බලකායන්ගේ සැබෑ ස්ථාන පිළිබඳ ඉහළ විධාන මට්ටමේ තිබූ අවබෝධය බිඳ වැටුණු අතර, ප්රහාරවලදී මිනිස් හා මෙහෙයුම් හානි සිදුවීමටද එය දායක වූ බව සඳහන් වේ.
Mokha ප්රදේශයේ සිටි සෞදි විශේෂ බලකා කණ්ඩායමක් වාර්තා වූ බලකා ස්ථාන සහ භූමියේ සැබෑ තත්ත්වය අතර වෙනස මුලින්ම හඳුනාගත් පාර්ශ්වයක් බවද මෙම විශ්ලේෂණය පෙන්වා දෙයි.
ගුවන් බලය තිබුණත් එය භාවිත කළ නොහැකි වූ විට
මෙහිදී තවත් වැදගත් ගැටලුවක් මතු විය.
ගුවන් ප්රහාර සඳහා ඉලක්ක සූදානම්ව තිබුණද, භූමියේ මිත්ර බලකායන් සිටින නිවැරදි ස්ථාන විශ්වාසදායක ලෙස තහවුරු කළ නොහැකි නම් ගුවන් බලය නිදහසේ භාවිත කිරීම අතිශය අවදානම් සහගත වේ.
එම ගැටලුව තවත් උග්ර වූයේ NRF බලකා කිහිපයක් සක්රීය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීය.
මාස ගණනාවක් පුරා JFC විසින් ජෛවමිතික ලියාපදිංචිය, වැටුප් ප්රතිසංස්කරණය සහ බලකා ඒකාබද්ධ කිරීම සිදුකර තිබුණද, ලියාපදිංචි සාමාජිකයන්ගෙන් සියයට 50–60ක් පමණ සේවයට වාර්තා නොකළ බව මෙම විශ්ලේෂණය පවසයි.
Jabal al-Nar වැනි වැදගත් හමුදා කේන්ද්රස්ථාන ආශ්රිත සම්බන්ධීකරණය තවදුරටත් දුර්වල වීමත් සමඟ, ප්රධාන හුති බලකායන් එම ප්රදේශ වෙත ළඟා වීමට පෙරම NRF බලකායන් කිහිපයක් තම ස්ථාන අත්හැරීමට පටන් ගත් බව සඳහන් වේ.
Mokha- පරාජයකින් පාඩමක්
එම අත්දැකීම අද වන විට මෙහෙයුම් පාඩමක් බවට පත්ව තිබේ.
සෞදි–යේමන සහ සෞදි–පාකිස්තාන ඒකාබද්ධ JTAC කණ්ඩායම් — Joint Terminal Attack Controllers — උතුරු ප්රදේශයේ ප්රධාන බලකා සමඟ සම්බන්ධ කරමින්, භූමියේ සිටින බලකා සහ JFC ප්රහාර පද්ධතිය අතර සත්යාපිත සන්නිවේදන මාර්ගයක් නැවත ස්ථාපිත කිරීමට උත්සාහ කරමින් සිටින බව මෙම විශ්ලේෂණය පවසයි.
ඒ සමඟම Saudi Operational Mentoring and Liaison Teams (OMLT) මඟින් JFC සමඟ සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන අතර, යේමන බලකායන්ගේ සත්ය මිනිස් බලය, ස්ථානය සහ සූදානම ස්වාධීනව තහවුරු කිරීමට කටයුතු කරන බව සඳහන් වේ.
ධනාත්මක විධාන සත්යාපනය, වෙන්කළ වාර්තාකරණ ක්රම සහ අතිරේක සංකේතනය කළ සන්නිවේදන මාර්ග හරහා Mokha හිදී හෙළි වූ දුර්වලතා වසා දැමීමට උත්සාහ කරමින් සිටී.
සෞදි අරාබිය මීට පෙරද මෙවැනි පද්ධතියක් ඉලක්ක කර තිබුණි
මෙය සෞදි අරාබියට සම්පූර්ණයෙන්ම අලුත් ක්රමයක් නොවේ.
2026 ජනවාරි මාසයේදී, දකුණු යේමනයේ Southern Transitional Council (STC) මෙහෙයුම්වලට සහාය දුන් Abu Dhabi මූලික විධාන හා පාලන පද්ධතිය සෞදි නායකත්වයෙන් යුත් JFC හමුදා ප්රතිබුද්ධි ක්රියාමාර්ග මඟින් හඳුනාගෙන ක්රමානුකූලව දුර්වල කළ බව මෙම ලිපිය පවසයි.
එම අවස්ථාවේදී භූමියේ මෙහෙයුම් පිළිබඳ විශ්වාසදායක චිත්රයක් පවත්වාගෙන යාම සඳහා සම්බන්ධීකරණ සහ ඉලක්කගත කිරීමේ ක්රමවේද භාවිත කළ බවද සඳහන් වේ.
එම බාහිර විධාන ස්ථරය ඉවත් වූ පසු, UAE බලකායන් සහ ඔවුන් සමඟ සම්බන්ධ වූ සන්නද්ධ කණ්ඩායම්වල මෙහෙයුම් නිදහස වේගයෙන් සීමා වී, සෞදි නායකත්වයෙන් යුත් මෙහෙයුම් හමුවේ ඔවුන් පසුබැසීමට සිදුවූ බව මෙම විශ්ලේෂණය පවසයි.
හුතින්ගේ පද්ධතියේ ශක්තියම එහි දුර්වලතාවක් විය හැකිය
අද හුතින්ට සහාය වන පද්ධතිය මීට වඩා සංකීර්ණය.
මෙම විශ්ලේෂණයට අනුව, රුසියාව චන්ද්රිකා මූලික බුද්ධි සහ SIGINT හැකියාවන් සපයන අතර, ඉරානය එම තොරතුරු හුති මෙහෙයුම් හා විධාන පද්ධතිය සමඟ ඒකාබද්ධ කරයි.
නමුත් එවැනි සංකීර්ණ පද්ධතියකටම විශාල දුර්වලතා තිබේ.
එය ආරක්ෂිත සන්නිවේදන මාර්ග, විශේෂඥ නිලධාරීන්, බුද්ධි තොරතුරු ඒකාබද්ධ කරන මධ්යස්ථාන, තාක්ෂණික උපදේශකයන් සහ Sanaa සිට පෙරමුණේ මූලස්ථාන දක්වා අඛණ්ඩ සම්බන්ධතා මත රඳා පවතී.
එම නිසා පද්ධතියේ එක් ස්ථානයක් බිඳ වැටීම පමණක් නොව, එහි සම්බන්ධක ස්ථාන කිහිපයක් එකවර බාධා කිරීම මඟින් සමස්ත විධාන ව්යුහයටම බලපෑමක් ඇති කළ හැකිය.
සැප්තැම්බර් 19: විධාන ව්යුහයට දැඩි ප්රහාරයක්
සැප්තැම්බර් 19 රාත්රියේදී Sanaa හි ඉරාන නායකත්වයෙන් යුත් ඉහළ මට්ටමේ විධාන හා පාලන ව්යුහයට දැවැන්ත ප්රහාරයක් එල්ල වූ බව මෙම විශ්ලේෂණය පවසයි.
එහිදී අවම වශයෙන් Major Generals දෙදෙනකු, Brigadier Generals හත්දෙනකු සහ Colonels 32 දෙනකු ඇතුළු ජ්යෙෂ්ඨ හුති හමුදා නිලධාරීන් මියගොස් හෝ ක්රියාකාරීත්වයෙන් ඉවත් වී ඇති බවට තොරතුරු ඉදිරිපත් කර තිබේ.
ඔවුන් සමඟ ඔවුන්ගේ සහායකයන්, කාර්ය මණ්ඩලය සහ සන්නිවේදන කණ්ඩායම්ද බලපෑමට ලක්ව ඇති බව සඳහන් වේ.
තවද Major General තනතුරට ඉහළ මට්ටමේ සිටින පුද්ගලයන් කිහිපදෙනකු සහ විදේශීය සම්බන්ධිත පාර්ශ්වයන් ද බලපෑමට ලක්ව ඇති බවට ඉඟි පවතින නමුත්, එම තොරතුරු තවමත් සම්පූර්ණයෙන් හෙළි කර නොමැති බව මෙම ලිපිය පවසයි.
එහෙත් මෙහි සැබෑ වැදගත්කම සංඛ්යාව නොවේ.
මූලස්ථානයක් විනාශ වීමෙන් එහා ගිය බලපෑම
ප්රධාන ප්රශ්නය වන්නේ විධාන දාමය බිඳ වැටීමයි.
පෙරමුණේ විධාන මට්ටම් දුර්වල වන අතර, Sanaa හි ඉහළ මට්ටමේ විධාන මධ්යස්ථාන නිරවද්ය ගුවන් ප්රහාරවලට ලක්වන්නේ නම්, බුද්ධි තොරතුරු එකතු කිරීමේ සිට තීරණ ගැනීම, ඉලක්ක තෝරා ගැනීම සහ අවසානයේ ප්රහාරය ක්රියාත්මක කිරීම දක්වා වූ සම්පූර්ණ දාමයම අඩාල විය හැකිය.
මූලස්ථාන නව ස්ථාන වෙත මාරු වීමට සිදුවීම, ජීවත්ව සිටින අණදෙන නිලධාරීන් තම යටත් බලකායන් සමඟ නැවත සම්බන්ධ වීමට උත්සාහ කිරීම සහ ඉතිරි ඉරාන උපදේශකයන් විකල්ප සන්නිවේදන මාර්ග ගොඩනැඟීමට උත්සාහ කිරීම වැනි ක්රියාකාරකම් නව බුද්ධි සංඥා නිර්මාණය කරයි.
ඒවා හඳුනාගෙන එකිනෙකට සම්බන්ධ කර භූගෝලීය වශයෙන් ස්ථානගත කළ හැකි නම්, විධාන පද්ධතිය නැවත ගොඩනැඟීමට පෙරම එය තවදුරටත් දුර්වල කිරීමේ හැකියාව ලැබේ.
බටහිර වෙරළේ වේගය නැවත ඇති කර ගැනීමට හුතින්ට අපහසු වන්නේ ඇයි?
මේ හේතුව නිසා බටහිර වෙරළේ මුල් සාර්ථකත්වය නැවත නැවත සිදු කිරීමට හුතින්ට අපහසු වෙමින් පවතින බව මෙම විශ්ලේෂණය තර්ක කරයි.
ඔවුන් මීට පෙර ප්රයෝජනයට ගත් විධාන හා පාලන දුර්වලතා දැන් සෞදි නායකත්වයෙන් යුත් බලකායන් විසින් වසා දමමින් සිටී.
අනෙක් පැත්තෙන්, හුතින්ගේම බාහිර බුද්ධි සහ විධාන සහාය ජාලය වැඩිවන පීඩනයකට ලක්වෙමින් තිබේ.
එම නිසා Mokha හි අසාර්ථකත්වය ස්ථිර හමුදා දුර්වලතාවක් ලෙස නොව, නැවත සිදුවීමට ඉඩ නොදෙන ආකාරයෙන් ප්රතිසංවිධානය කළ යුතු මෙහෙයුම් පාඩමක් ලෙස සෞදි නායකත්වයෙන් යුත් JFC විසින් භාවිත කරමින් සිටින බව මෙම ලිපියේ මූලික තර්කයයි.
C6ISR- නව යුද්ධයේ සැඟවුණු පෙරමුණ
2015 සිට සෞදි නායකත්වයෙන් යුත් JFC හි C6ISR — “අණදීම, පාලනය, සන්නිවේදන, පරිගණක, සයිබර්, බුද්ධි, නිරීක්ෂණ හා ප්රතිසංවිධාන තොරතුරු රැස්කිරීමේ පද්ධතිය” (Command, Control, Communications, Computers, Cyber, Intelligence, Surveillance and Reconnaissance )— පද්ධති, ඉලක්ක හඳුනාගැනීම සහ සංවේදකයකින් ලබාගත් තොරතුරු ප්රහාරයක් බවට පත් කිරීම අතර කාලය අඩු කිරීම සම්බන්ධයෙන් විශාල වෙනස්කම් සිදුවී ඇති බව මෙම විශ්ලේෂණය පවසයි.
මෙහි වැදගත්ම කරුණ වන්නේ නවීන යුද්ධයකදී ජයග්රහණය තීරණය කරන්නේ සටන් බිමේ සිටින සොල්දාදුවන්ගේ සංඛ්යාව පමණක් නොවන බවයි.
තොරතුරක් ලබාගැනීමට ගතවන කාලය, එය තහවුරු කිරීමට ගතවන කාලය, එය නිවැරදි තීරණයක් බවට පත් කිරීමට ගතවන කාලය සහ එම තීරණය භූමියේ ක්රියාත්මක කිරීමට ගතවන කාලය — මේ සියල්ල එකට එකතු වී නවීන යුද්ධයේ බලය නිර්මාණය කරයි.
අවසාන සටන තීරණය කරන්නේ බුද්ධි දාමයද?
යේමනයේ සිදුවීම්වලින් මතුවන විශාලතම ප්රශ්නය එයයි.
හුතින් බටහිර පෙරමුණේදී ප්රතිවාදියාගේ විධාන පද්ධතියේ දුර්වලතා හඳුනාගෙන ඒවා ප්රයෝජනයට ගත් බවට මෙම විශ්ලේෂණය කරුණු ඉදිරිපත් කරයි.
දැන් සෞදි නායකත්වයෙන් යුත් JFC එම අත්දැකීමෙන් ඉගෙනගෙන, තමන්ගේම විධාන හා සන්නිවේදන පද්ධතිය වඩාත් විශ්වාසදායක කරමින් සිටින අතර, හුතින්ගේ බාහිර බුද්ධි සහ විධාන ජාලය දුර්වල කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
එහිදී තීරණාත්මක වන්නේ ප්රහාරයක ප්රමාණය නොව, තොරතුරු → විශ්ලේෂණය → විධානය → ඉලක්කය → ක්රියාත්මක කිරීම යන සම්පූර්ණ දාමය කෙතරම් වේගයෙන් හා විශ්වාසදායක ලෙස ක්රියාත්මක කළ හැකිද යන්නයි.
මෙම දාමයේ එක් පැත්තක් බිඳ වැටුණහොත් හමුදා බලය තිබුණද එය සම්පූර්ණයෙන් භාවිත කළ නොහැක.
බටහිර වෙරළේ හුතින් ලබාගත් සාර්ථකත්වය එවැනි දුර්වලතාවක් පෙන්වා දුන්නේය.
දැන් එම දුර්වලතාව වසා දැමීමට සෞදි නායකත්වයෙන් යුත් බලකායන් උත්සාහ කරමින් සිටින අතර, අනෙක් පැත්තෙන් හුතින්ගේ බලය වර්ධනය කළ බව කියන රුසියානු–ඉරාන බුද්ධි සහ විධාන ජාලයම දැඩි පීඩනයකට ලක්වෙමින් තිබේ.
එබැවින් ඉදිරියේදී යේමනයේ සටන තීරණය වන්නේ භූමියේ ඇති බලකා සංඛ්යාවෙන් පමණක් නොව, කවුරුන්ට සටන් බිමේ වඩාත් නිවැරදි චිත්රයක් ලබාගත හැකිද, එය වඩා වේගයෙන් තීරණයක් බවට පත් කළ හැකිද සහ එම තීරණය විශ්වාසදායක ලෙස භූමියේ ක්රියාත්මක කළ හැකිද යන්න මතය.