
22A ව්යවස්ථා සංශෝධනය සම්මත කරගත් ආකාරය සාධාරණීකරණය කිරීම සඳහා ආණ්ඩුව විවිධ තර්ක හා මතවාද ගොඩනඟමින් සිටී.
ඉන්දියාවේ පවා මෑතකදී විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස් සීමාව ඉහළ නංවා ඇති නමුත්, එරට කිසිදු විරෝධතාවක් ඇති නොවූ බව ආණ්ඩුවේ නායකයෝ පවසති.
ඔවුන් මෙහිදී සඳහන් කරන්නේ All India Judges Association v. Union of India නඩුව සම්බන්ධයෙන් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකි.
එම නියෝගය මගින් ප්රාන්ත හතක දිස්ත්රික් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස අවුරුදු 60 සිට 62 දක්වා ඉහළ නැංවීමට නියම කර තිබූ අතර, එය අවුරුදු 60 සම්පූර්ණ වන අවස්ථාවේදී අදාළ මහාධිකරණය විසින් ඔවුන්ගේ සුදුසුකම් සහ කාර්යසාධනය ඇගයීමට ලක් කිරීමකට යටත් කර තිබිණි.
එහෙත් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණ නියෝගයෙන් අපේක්ෂා කළ දෙයත්, 22A මගින් සිදු කිරීමට උත්සාහ කරන දෙයත් අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසකි.
ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තමන්ගේම විශ්රාම වයස ඉහළ නංවා ගැනීමට කිසිදු පියවරක් ගෙන නැත.
ඔවුන්ගේ විශ්රාම යාමේ වයස ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අවුරුදු 65ක් ලෙස ස්ථිර කර තිබේ.
එබැවින් ජාතික ජන බලවේගයේ දේශපාලනඥයන් සිදු කරන්නේ එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් කරුණු දෙකක් සමාන කර දැක්වීමකි.
මෙරටදී විවේචනයට ලක් වූයේ, ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් නියම කර තිබූ විශ්රාම යාමේ වයස් සීමාව අත්තනෝමතික ආකාරයෙන් ඉහළ නැංවීමයි.
එය සිදු කරන විට කිසිදු පාර්ශ්වකරුවෙකු සමඟ පවා සාකච්ඡා කර නොතිබීම විශේෂයෙන්ම අවධානයට ලක්විය.
22A සමඟ සැසඳිය හැක්කේ 2021 වසරේ සිම්බාබ්වේහි සම්මත කළ ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් පමණි.
එම සංශෝධනය මගින් දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස් සීමාව ඉහළ නංවනු ලැබීය.
අප මීට පෙර කතුවැකි සටහනකින් පෙන්වා දුන් පරිදි, ජනාධිපති එමර්සන් ම්නන්ගග්වාගේ ආණ්ඩුව විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා වූ ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් කඩිමුඩියේ සම්මත කරගත්තේය.
එමගින් බලයේ සිටි අගවිනිසුරුවරයෙකුගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය කිරීම සුදුසුද යන්න පිළිබඳව දැඩි විවාදයක් ඇති විය.
එම සංශෝධනය පුළුල් අධිකරණ ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක කොටසක් නොවීය.
එය වහාම එවකට අගවිනිසුරු වූ ලූක් මලබාට තවත් වසර පහක් එම ධුරයේ රැඳී සිටීමට මාර්ගය විවෘත කළේය.
ශ්රී ලංකාව දැන් එවැනි රටක් වන සිම්බාබ්වේ සමඟ එකම කණ්ඩායමට එක්වී සිටී.
දැන් මෙවැනි පූර්වාදර්ශයක් නිර්මාණය වී ඇති බැවින්, අනාගතයේදී ජාතික ජන බලවේග ආණ්ඩුව නැවතත් ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්රාම යාමේ වයස ඉහළ නැංවීමට උත්සාහ නොකරනු ඇතැයි සහතිකයක් තිබේද?
අනාගත ආණ්ඩුවකට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණහොත්, ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස් සීමාව නැවතත් දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය කිරීමට හැකි වනු ඇත.
විරෝධතා නතර කළ යුතුද?
ජාතික ජන බලවේගයේ දේශපාලනඥයන් විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ විරෝධතා නතර කර 22A සමඟ යථාර්ථයට මුහුණ දෙන ලෙසයි.
එය දැන් නීතියක් බවට පත්ව ඇති බැවින් එය පිළිගත යුතු බව ඔවුහු පවසති.
කුතුහලයට කරුණක් වන්නේ හිටපු අමාත්ය වාසුදේව නානායක්කාර මහතාද ආණ්ඩුවට සහාය පළ කිරීමයි.
ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස ඉහළ නැංවීමේ කිසිදු වරදක් නොමැති බව අවධාරණය කරමින් ඔහු 22A සම්පූර්ණයෙන්ම අනුමත කර තිබේ.
මාධ්ය අමතමින් නානායක්කාර මහතා පවසා ඇත්තේ 22Aට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්රියාවක් බවත්, විපක්ෂය යථාර්ථයට මුහුණ දිය යුතු බවත්ය.
ඔහුට තම මතය දැරීමට සම්පූර්ණ අයිතිය තිබේ.
එහෙත් ප්රශ්නය වන්නේ, 1978 සිට වත්මන් ආණ්ඩුක්රම ව්යවස්ථාවට සහ විධායක ජනාධිපති ක්රමයට එරෙහිව ඔහු මෙතරම් විරෝධතා මෙහෙයවා ඇත්තේ ඇයිද යන්නයි.
ඔහු එදා කළ යුතු වූයේද වර්තමානයේ විපක්ෂයට කියන පරිදි එම යථාර්ථය පිළිගෙන නිහඬ වීම නොවේද?
ආණ්ඩුවේ නායකයෝ විපක්ෂයෙන් මෙන්ම ශ්රී ලංකා නීතිඥ සංගමයෙන්ද ඉල්ලා සිටින්නේ 22Aට එරෙහි විරෝධතා අත්හැර දමන ලෙසයි.
ඔවුන් පවසන්නේ ශ්රේෂ්ඨාධිකරණය විසින් එය සලකා බලා ඇති අතර, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ඇති බැවින් 22A දැන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ කොටසක් වී ඇති බවයි.
එසේ නම්, 1980 දශකයේ අග භාගයේදී 13 වැනි ව්යවස්ථා සංශෝධනය (13A), පළාත් සභා පිහිටුවීම සහ පළාත් සභා සඳහා පැවති පළමු මැතිවරණය අඩපණ කිරීම සඳහා ඔවුන් අවි අතට ගත්තේ ඇයිද යන්න ඔවුන් පැහැදිලි කරනු ඇත්ද?
13A ද ශ්රේෂ්ඨාධිකරණයේ විමසුමට ලක්වී එහි අනුමැතිය ලබාගත් අතර, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරන ලදී.
එදා ජාතික ජන බලවේගයේ නායකයන් අද ඔවුන් විපක්ෂයට කරන ඉල්ලීම අනුව කටයුතු කළේ නම්, එතරම් ලේ වැගිරීමක් සිදු නොවනු ඇත.
ඔවුන් 18 වැනි සහ 20 වැනි ව්යවස්ථා සංශෝධනවලටද දැඩි ලෙස විරෝධය පළ කළ අතර, එය නිවැරදි පියවරක් විය.
එසේ නම්, එම අහිතකර ව්යවස්ථා සංශෝධන සම්මත වූ පසු ඔවුන් විරෝධතා නතර නොකළේ මන්ද?
22A, 13A, 18A සහ 20A යන සංශෝධන අතර විවිධ පැතිවලින් වෙනස්කම් ඇති බව කෙනෙකුට තර්ක කළ හැකිය.
එහෙත් එම වෙනස්කම් නිසා 22A ප්රජාතන්ත්රවාදයට අහිතකර විය හැකි බලපෑම අඩු නොවේ.
2022 වසරේ Inland Revenue (Amendment) Bill සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයද මෙහිදී සිහිපත් කළ හැකිය.
එහිදී ශ්රේෂ්ඨාධිකරණය සඳහන් කළේ, උසස් අධිකරණවල දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස හෝ ඔවුන්ගේ ධුර කාලය කෙරෙහි බලපාන ව්යවස්ථා සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් ඇති කරන බැවින්, එවැනි සංශෝධනයකට ජනමත විචාරණයක අනුමැතිය අවශ්ය වන බවයි.
එබැවින්, කොතරම් ප්රචාරණයක් හෝ වාග් විලාසයක් භාවිත කළද 22A විවේචනය කරන්නන් නිහඬ කිරීමට ආණ්ඩුවට හැකි නොවනු ඇත.
ඔවුන්ගේ විරෝධතා තවදුරටත් තීව්ර වීම වැළැක්විය නොහැකි වනු ඇත.
(ද අයිලන්ඩ් පුවත්පතේ කතුවැකියේ පරිවර්තනයකි) 2026 සැප්තැම්බර් 29, අඟහරුවාදා