
කලාපීය සමුද්රීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් අභ්යාසය ඔක්තෝබර් 30 වැනිදා ඇරඹේ ‘ BIMSTEC – 2026’ සමුද්රීය ආරක්ෂක අභ්යාසයට සහභාගී වීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නෞකාව අද (25) කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
නෞකාව පිටත්ව යෑම නිමිත්තෙන් නාවික හමුදා සම්ප්රදායානුකූල සමුදීමේ උත්සවයක් ද කොළඹ වරායේදී පැවැත්විණි.
ඉන්දීය නාවික හමුදාව විසින් ප්රථම වරට සංවිධානය කරනු ලබන මෙම ඒකාබද්ධ සමුද්රීය ආරක්ෂක අභ්යාසය ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
බහු ක්ෂේත්රීය තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක මුලපිරීම (BIMSTEC) සාමාජික රටවල් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්රී ලංකාව සහ තායිලන්තය නියෝජනය කරමින් එම රටවල නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා මෙම අභ්යාසයට සහභාගී වීමට නියමිතය.
සමුද්රීය ක්ෂේත්රය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, බෙංගාල බොක්ක ආශ්රිත සමුද්රීය කලාපයේ මෙහෙයුම් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ කලාපීය සමුද්රීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අභ්යාසයේ ප්රධාන අරමුණු වේ.
ගජබාහු නෞකාව පිටත්ව යෑමේ අවස්ථාවට නාවික හමුදා අධ්යක්ෂ ජනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, බටහිර නාවික විධානයේ නියෝජ්ය ආඥාපති කොමදෝරු අරුණ විජයවර්ධන, නාවික මෙහෙයුම් අධ්යක්ෂ කොමදෝරු අතුල ජයවීර ඇතුළු ජ්යෙෂ්ඨ නාවික නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
එහිදී ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් අශෝක වීරසේකර විසින් නාවික හමුදා අධ්යක්ෂ ජනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.
මෙම අභ්යාසයට ශ්රී ලංකා නාවික හමුදාවේ සහභාගීත්වය තුළින් කලාපීය රටවල් අතර සමුද්රීය ආරක්ෂාව සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත්, ඒකාබද්ධ මෙහෙයුම් සඳහා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.