
සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩලු 8ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (25) සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 273ක් රැස් කළා.
එහිදී, ලකුණු 274ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 46.5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 275ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
මෙහිදී, දෙවන කඩුල්ල වෙනුවෙන් විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම එක්ව ලකුණු 203ක වාර්තාගත සබඳතාවක් ගොඩනැගූ අතර, ශ්‍රී ලංකා එක්දින කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ දෙවන කඩුල්ල සඳහා වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාවද එයයි.
විශ්මි ගුණරත්න පන්දු 123කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 123ක් රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම පන්දු 119කදී හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.
වසාන භාගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කවිෂා දිල්හාරි පන්දු 33කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර, පන්දු යැවීමේදී ද ඇය පන්දුවාර 10ක් යොමු කර ලකුණු 53කට එක් කඩුල්ලක් දවා ගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මල්ෂා ෂෙහානි ද පන්දුවාර 6ක් යොමු කර ලකුණු 26කට එක් කඩුල්ලක් දවාගත්තා.