
ඩෙල්ෆ්ට් වෙල්ලෛයි වෙරළ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විශාල භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (24) ක්‍රියාත්මක කළ මෙහෙයුමකදි වෙරළ ආශ්රිත ප්‍රදේශයේ තිබූ සැකකටයුතු උර හයක් (06) පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. එහිදී විදේශීය දුම්වැටි පැකට්ටු 500 ක්, කෘමිනාශක පැකට්ටු 2,295 ක්, ඖෂධාලේපන සහිත ඇසුරුම් 2,569 ක්, රූපලාවන්‍ය ආලේපන සහිත ඇසුරුම් 165 ක් සහ සුවඳ විලවුන් බෝතල් 64 ක් සොයාගෙන නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙම භාණ්ඩ තොගය නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක පළ කරන අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදුන් බව නාවික හමුදාව පවසනවා. මුහුදු මාර්ග ඔස්සේ සිදුකරන භාණ්ඩ ජාවාරම් සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා වූ මුහුදු තීරයේ අඛණ්ඩ මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කරනවා.