
ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළෙඳ ක්ෂේත්රයේ ප්‍රමුඛයන්ගේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ (SLRA) 09 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (24) කොළඹ දී පැවැත්විණි.
මෙහිදී ඉදිරි වසර සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කරගත් අතර වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), විලාසිතා, සෞඛ්‍ය සේවා සහ විද්‍යුත් වාණිජ්‍යය (E-commerce) ඇතුළු ක්ෂේත්‍ර රැසක සිල්ලර වෙළෙඳ ව්‍යාපාර එකම වහලක් යටට ගෙන එමින්, ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය පිහිටුවා තිබේ.
ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ (SLRA) 09 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය සමඟ ඉදිරියේදී වඩාත් සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම වෙළෙඳ අමාත්‍යාංශයේ අපේක්ෂාව බව පැවසීය.
සිල්ලර වෙළෙඳාම යනු විශාල වශයෙන් සේවා හා රැකියා උත්පාදනය කරමින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සපයන ප්‍රධාන ක්ෂේත්රයකි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 20% කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරන අතර, මිලියන දෙකකට ආසන්න පිරිසකට රැකියා අවස්ථා උදාකර දී තිබේ.
දැනට රටේ ලියාපදිංචි වී ඇති ව්‍යාපාර ප්‍රමාණය 65,000ක් පමණ යැයි උපකල්පනය කළ හැකි වුවත්, ඇතැම් විශාල සමාගම් සතු නියෝජිතයන් (Agents) සහ බෙදාහරින්නන් ප්‍රමාණය ලක්ෂ දෙකකට වඩා වැඩිය.
ඉන් ගමේ කුඩා සිල්ලර කඩයේ සිට ජාතික මට්ටමේ B2C ව්‍යාපාර දක්වා විශාල පිරිසක් නිසි පරිදි ලියාපදිංචි වී නොමැති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.
අන්තර්ජාල වෙළෙඳපොළ (Online Platforms) හරහා සිදුකෙරෙන ඇතැම් ව්‍යාපාර නිසි පරිදි ලියාපදිංචි නොවීම සහ බදු නොගෙවීම නිසා, නීත්‍යානුකූලව බදු ගෙවන ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයට පත්වන බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
පසුගිය කාලයේ මෙවැනි අවධිමත් ක්‍රම ඔස්සේ ඩොලර් මිලියන 780ක් වැනි විශාල මුදලක් රටින් පිටවී ඇති බව නිරීක්ෂණය වී තිබෙන බව පෙන්වාදුන් අමාත්‍යවරයා, මාර්ගගත ක්‍රමවේදයන් නිසි ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදෙන ලදී.
"ව්‍යාපාර විධිමත්කිරීම තුළින් ව්‍යාපාරිකයන්ට මෙන්ම රටට ලැබෙන ප්‍රතිලාභය අතිමහත්ය. රෙදිපිළි, නිමි ඇඳුම්, බිස්කට්, තේ, මසුන් ඇතුළු විවිධ නිෂ්පාදන ක්ෂේත්රයන් නියෝජනය කරන සියලුම සිල්ලර ව්‍යාපාරිකයන් එකම සංගමයක් ලෙස මෙලෙස එක්වීම අගය කළ යුතුය. සැමදෙනාම විධිමත් ක්‍රමවේදයකට අනුගත කරවා ගැනීම සමස්ත රටේම ආර්ථික දියුණුවට හේතු වනු ඇත"
සිල්ලර වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශවයේම අයිතිවාසිකම් සුරැකීමට අමාත්‍යංශය සැමවිටම බැඳී සිටින අතර භාණ්ඩයක් මිලදී ගැනීම සදහා පාරිභෝගිකයා තබන විශ්වාසය ගැන සිතා කටයුතු කිරීමට සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයට ද විශාල කාර්යභාරයක් බවතින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.