අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තා එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට මීට පෙර ලබා දී තිබූ ප්‍රතිඥාව දෙසැම්බර් 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළා.
රැඳවුම් භාරයේ සිටින සිය පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් ඉල්ලා, කෙහෙල්බද්දර පද්මේගේ මව විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා, අත්අඩංගුවේ සිටින සිය පුත්‍රයා දැනට රඳවා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට වගඋත්තරකරුවන් මීට පෙර ලබා දුන් ප්‍රතිඥාව මීළඟ නඩු දින දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා එම ඉල්ලීමට එකඟතාව පළ කිරීමෙන් පසු, විනිසුරු මඩුල්ල අදාළ ප්‍රතිඥාව දෙසැම්බර් 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට නියම කළා.
එදිනට පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා නැවත කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළා.
සිය පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ඔහු මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථානවලට රැගෙන යාම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මව අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.