
හබරාදුව මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වි ඇති අතර මහවැලි ගඟේ දිය නෑමට ගිය තිදෙනෙක් දියේ ගිලී අතුරුදන්වි ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (14) සවස් කාලයේ හබරාදූව මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන කළුගල රෝහලට ඇතුලත් කොට තිබෙනවා. ඒ විටත් ඔවුන් මියගොස් සිට බව වෛද්‍යවරුන් විසින් සනාථ කොට තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 21 සහ 26 යන වයස්වල පසු වූ කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කළා. මොවුන් විනෝද චාරිකාවක් ගොස් දිය නාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මේ අතර ඊයේ (14) සවස් කාලයේ සේරුනුවර පොලිස් වසමේ සෝමාවතිය රක්ෂිතය මැදින් ගලා බසින මහවැලි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. මේ පිලිබඳව සේරුනුවර පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්. අතුරුදන් වූ පුද්ගයින් අවුරුදු 24, 34 සහ 35 යන වයස්වල පසුවන මහින්දපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකි. අතුරුදන් වූ සහෝදරයින් තිදෙනා ඔවුන්ගේ පියා සහ තවත් සහෝදරයෙකු සමඟ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී අතුරුදන් වී ඇති අතර නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා සේරුනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් අතුරුදන්වු තිදෙනා සොයා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන බව සේරුනුවර පොලිසිය පවසනවා.