
ජර්මනියේ ප්රමුඛ මෝටර් රථ නිෂ්පාදකයකු වන වොක්ස්වැගන් සමාගම 2030 වසර වන විට තවත් රැකියා 50,000ක් කපා හරිමින් දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවලකට සුදානම් වනවා.
මෙම තීරණයත් සමඟ 2030 වන විට සමාගම විසින් අහෝසි කිරීමට සැලසුම් කර ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 100,000ක් දක්වා ඉහළ යනු ඇත.
වොක්ස්වැගන් සමාගම මීට පෙර මාර්තු මාසයේදී රැකියා 50,000ක් කපා හැරීමට සැලසුම් කරන බව නිවේදනය කළා.
වොක්ස්වැගන් සමූහයට වොක්ස්වැගන් මෝටර් රථ සන්නාමයට අමතරව Audi, Porsche සහ Skoda ඇතුළු ප්‍රධාන මෝටර් රථ සන්නාම රැසක් අයත් වනවා.
Seat, Bentley සහ Lamborghini වැනි ප්‍රසිද්ධ මෝටර් රථ සන්නාම ද එම සමූහයට අයත් වේ
සමාගම ජර්මනියේ පිහිටි Emden, Zwickau, Hanover සහ Neckarsulm කර්මාන්තශාලා හතරේ අනාගතය සම්බන්ධයෙන් ද විකල්ප සලකා බලමින් සිටී.
සමාගම පවසන්නේ මෙම කර්මාන්තශාලාවල නිෂ්පාදන ධාරිතාව වෙළෙඳපොළ ඉල්ලුමට වඩා ඉහළ මට්ටමක පවතින බවයි.
එම නිසා එම කර්මාන්තශාලා සඳහා වෙනත් භාවිතයන් හඳුන්වාදීමේ හැකියාව ද මේ වන විට ඇගයීමට ලක් කරමින් පවතිනවා.
වොක්ස්වැගන් සමාගමට අනුව, එහි තරඟකාරීත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක ව්‍යාප්ත සේවක බලකායේ මූලික ප්රතිසංවිධානයක් අත්‍යවශ්‍ය වී තිබෙනවා.
ඒ අනුව කළමනාකරණ තනතුරු ද ඇතුළුව සමූහය පුරා රැකියා තනතුරු ආසන්න වශයෙන් 50,000ක් අඩු කිරීමට සිදුවනු ඇතැයි සමාගම සඳහන් කරනවා.
මීට අමතරව, සමාගම වඩාත් ඉහළ ඉල්ලුමක් පවතින සහ වාණිජමය වශයෙන් වඩාත් වැදගත් මෝටර් රථ මාදිලි කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර ඇත.
එම මාදිලි වැඩි ප්‍රමාණයකින් නිෂ්පාදනය කිරීම මඟින් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට අපේක්ෂා කරනවා.
2025 වසර වන විට වොක්ස්වැගන් සමූහය ලොව පුරා සේවකයන් 660,000කට අධික පිරිසක් සේවයේ යොදවා තිබිණි. .
යුරෝපයේ විශාලතම කාර්මික වෘත්තීය සමිතිය වන IG Metall හි සභාපතිනිය මෙන්ම වොක්ස්වැගන් අධීක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිනිය වන ක්‍රිස්ටීන් බැන්නර් (Christiane Benner) සඳහන් කළේ, සමාගම මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා පුළුල්ව සාකච්ඡා පැවැත්වූ බවයි.
වොක්ස්වැගන් සමාගමේ ලාභ මෑත වසරවලදී සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, එයට ප්‍රධාන වශයෙන් චීන වෙළෙඳපොළේ අලෙවිය පහත වැටීම බලපා තිබේ.
චීනය කලක් වොක්ස්වැගන් සමාගමේ විශාලතම වෙළෙඳපොළක් ලෙස පැවතුනා.
එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයේ මෝටර් රථ අලෙවිය ද පහත වැටී ඇති අතර, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ හඳුන්වා දුන් මෝටර් රථ ආනයන තීරුබදු ද ඒ සඳහා බලපා ඇති බව සමාගම පවසනවා.
මේ අතර, චීන මෝටර් රථ නිෂ්පාදකයන් නව තාක්ෂණයන් වේගයෙන් හඳුන්වා දෙමින් සහ සාපේක්ෂව අඩු නිෂ්පාදන පිරිවැයක වාසිය ලබා ගනිමින් ලෝක වෙළෙඳපොළ තුළ සිය බලපෑම වේගයෙන් පුළුල් කරමින් සිටී.
BYD වැනි චීන සමාගම් එක්සත් රාජධානිය, යුරෝපා සංගමය සහ අග්නිදිග ආසියාව ඇතුළු වෙළෙඳපොළවල සිය අලෙවිය වේගයෙන් ඉහළ නංවාගෙන ඇත.
වොක්ස්වැගන් ප්‍රධාන විධායක නිලධාරී ඔලිවර් බ්ලුම් (Oliver Blume) ප්‍රකාශ කළේ මෙම නව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සමාගමේ අනාගතය සම්බන්ධයෙන් “ශක්තිමත් සංඥාවක්” බවයි.
සමාගම සිය සමස්ත සේවක පිරිස සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.
මෙම අමතර රැකියා කප්පාදු පිළිබඳව සමාගම සලකා බලමින් සිටින බව Blume පසුගිය ජූලි මාසයේදී ද ප්‍රකාශ කර තිබුණා.