
කිළිනොච්චිය සෙල්වානගර් ප්රදේශයේ කාන්තාවක් සිය සැමියාගෙන් දික්කසාද වීමට නඩුවක් ගොණු කිරීමත් සමගම ඊට තදින් කිපුණු ස්වාමි පුරුෂයා බිරිදට අයත් වත්තේ පොල්ගස් මුලින්ම කපා බිම හෙලා තිබෙනවා. පසුගිය 2 වනදා මෙලෙස පොල් ගස් 7 ක් කපා දැමා ඇති අතර පසුව බිරිද ඊට එරෙහිව කිළිනොච්චිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා. කිළිනොච්චිය පොලීසිය අදාල සැමියා පොලීසියට කැදවා කළ ප්රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මේ දිනවල පවතින අධික සුළං සහිත කාලගුණික තත්ත්වය නිසා පොල්ගස් නිවස මතට ඇද වැටෙනු ඇතැයි යන බිය නිසා තමන් පොල්ගස් කපා බිම හෙලූ බවයි. දරුවන් තුන් දෙනෙකු සිටින මව සිය ස්වාමියා බීමත්ව නිවසට පැමිණ තමන්ට පහර දෙන බව පවසා දික්කසාද නඩුව ගොනු කොට තිබෙනවා. ඊට පෙර අවස්ථා කීපයකදීම කිළිනොච්චිය පොලීසිය ඔවුන් දෙදෙනාගේ පවුල් ආරවුල සම්බන්ධයෙන් ගොනු කොට තිබූ පැමිණිලි 9 ක් විභාග කොට ඇත.