
තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක දූපතක් වන ෆුකට්හි ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (16) අලුයම 3.17ට පමණ පටොං (Patong) සංචාරක කලාපයේ පිහිටි වාණිජ ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බව තායිලන්තපොලිසිය සඳහන් කරයි.
එම ගොඩනැගිල්ල තුළ අවන්හලක්, කුලියට නවාතැන් සපයන ස්ථානයක් සහ යතුරුපැදි කුලියට දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබේ.
එම ගොඩනැගිල්ලේ හටගත් ගින්න පසුව අවට පිහිටි තවත් ගොඩනැගිලි කිහිපයකට ද වේගයෙන් පැතිර ගොස් ඇති බව වාර්තා වේ.
ගින්නට හේතුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ෆුකට් පොලිස් ප්‍රධානී සුරචායි සුක්සායි සඳහන් කළේය.
මූලික විමර්ශනවලදී ගින්න හටගැනීමට සුළු වේලාවකට පෙර ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
එබැවින් මෙය කිසියම් පුද්ගලයෙකු විසින් හිතාමතා සිදුකළ ගිනි තැබීමක් නොවන බවට මූලික වශයෙන් සැලකෙන බව ද ඔහු පැවසීය.
ෆුකට් ආණ්ඩුකාර චොඩ්නරින් කොඩ්සොම් සඳහන් කළේ ගින්න හටගත් යතුරුපැදි කුලියට දීමේ ස්ථානයේ යතුරුපැදි 100ක් පමණ ගබඩා කර තිබූ බවයි.
එමෙන්ම එහි ගෑස්, එන්ජින් ඔයිල්, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ටයර් ඇතුළු පහසුවෙන් ගිනිගන්නා ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද තිබී ඇත.
මෙම ද්‍රව්‍ය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යාමටත්, ඝන විෂ දුමාරයක් හටගැනීමටත් හේතු වන්නට ඇති බව ආණ්ඩුකාරවරයා පෙන්වා දී තිබේ.
තුවාල ලැබූ පුද්ගලයන් 16 දෙනාගෙන් 15 දෙනෙකු තායිලන්ත ජාතිකයන් වන අතර අනෙක් පුද්ගලයා මියන්මාර ජාතිකයෙකි.
මෙම අනතුරින් මියගිය හෝ තුවාල ලැබූ සංචාරකයන් කිසිවෙකු නොමැති බව බලධාරීහු තහවුරු කරති.
තායිලන්තයේ විශේෂයෙන්ම රාත්‍රී සමාජ ශාලා, මත්පැන්හල් සහ විනෝදාස්වාද ස්ථාන ආශ්‍රිතව පවතින ආරක්ෂක හා සෞඛ්‍ය නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් දිගු කලක සිට විවේචන එල්ල වී තිබේ.
මෙම ගින්නත් සමඟ තායිලන්තයේ මෑත කාලීනව සිදු වූ විශාල ජීවිත හානි සහිත ගිනි අනතුරු පිළිබඳව ද යළි අවධානය යොමුව ඇත.
පසුගිය ජූලි මාසයේදී තායිලන්ත අගනුවර වන බැංකොක්හි ජනාකීර්ණ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් මියගොස් තිබිණි.
විදුලි පරිපථයක ඇති වූ දෝෂයක් හේතුවෙන් එම ගින්න හටගෙන ඇති බව බලධාරීන් ප්‍රකාශ කර තිබුණි.
2009 වසරේ අලුත් අවුරුදු උදාව සැමරීමේ උත්සවයක් අතරතුර බැංකොක්හි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 200කට අධික පිරිසක් තුවාල ලැබූහ.