159 වන පොලිස් දින සැමරුම අදට (සැප්තැම්බර් 03) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ, "නීතිය සුරකිමු - සාමය අගයමු" යන්නයි.
පොලිස් දිනය ලෙස සමරනු ලබන්නේ, පළමු පොලිස්පතිවරයා ලෙස ජී. ඩබ්ලිව්. ආර්. කැම්බල් මහතා පත් කරන ලද දිනයයි. ඒ අනුව 1866 සැප්තැම්බර් 03 වන දින ව්‍යවස්ථාපිතව ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කළ දිනය ලෙස සලකනු ලැබේ.
පොලිස්පති ධුරප්‍රාප්ත වූ දිනය පොලිස් දිනය ලෙස සැමරීම තුළ මෙවර ඇති විශේෂත්වය නම්, 159 වැනි පොලිස් දිනය මෙරට 37 වැනි පොලිස්පති ලෙස නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එම ධුරයේ වැඩ භාරගෙන දෙසතියක් ඇතුළත ස්මරණය කිරීමට ලැබීමයි.
ඒ අනුව අද පස්වරුවේ, තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට නියමිතය.
159 වන පොලිස් දිනය වෙනුවෙන්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් ;
සියවස් එකහමාරකටත් අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසියේ 159 වැනි පොලිස් දින සංවත්සරය අදට (03) යෙදී තිබේ.
ප්‍රථම පොලිස්පති ලෙස ශ්‍රීමත් ජී. ඩබ්. ආර්. කැම්බල් මහතා පොලිස්පති ධුරයට පත් වූ 1866 සැප්තැම්බර් 03 වැනි දින ව්‍යවස්ථාපිතව පොලිසිය ආරම්භ කළ දිනය ලෙස සලකනු ලැබේ.
ඒ අනුව පොලිස් දිනයක් ලෙස ස්මරණය කරන්නේ පොලිස්පති ධුරප්‍රාප්ත වූ දිනය බැවින් 159 වැනි පොලිස් දිනය ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පති ලෙස නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එම ධුරයේ වැඩ භාර ගෙන දෙසතියක් ඇතුළත ස්මරණය කිරීමට ලැබීම සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් වේ.
පොලිස් රාජකාරියට සමාන රාජකාරියන් අප රටේ රාජාණ්ඩු සමයේද පැවැත ඇති බවට ඓතිහාසික සාක්ෂිවලින් තහවුරු වේ.
රාජාණ්ඩු සමය තුළ විදේශීය ජාතිකයන් මෙරට ආක්‍රමණය කළ අවධියේ පොලිස් රාජකාරියේ ආරම්භය සිදුවූ අයුරු පොලිස් ඉතිහාසය පිරික්සීමේදී තොරතුරු අනාවරණය වේ.
1602 දී ලන්දේසි ජාතිකයන් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුව 1650 වර්ෂයේ දී කොළඹ මහ නගර සභාව විසින් රාත්‍රී කාලයේදී නගරයේ ආරක්ෂාව සඳහා ආරක්ෂකයන් පත් කිරීමේ යෝජනාවක් සම්මත කරන ලදී. ඒ අනුව රාත්රියේදී නගරයේ මුර සංචාරයේ යෙදීම සඳහා සොල්දාදුවන් සිව්දෙනකු පත්කරන ලද අතර ඔවුන්ගේ රාජකාරිය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක පොලිස් රාජකාරිය ලෙස හැඳින්විය හැකිය.
1796 වර්ෂයේ පෙබරවාරි 16 වැනි දින ලන්දේසීන් බි්රතාන්යයන්ට යටත් වූ අතර එතැන් සිට රටේ නීතිය හා සාමය පවත්වාගෙන යෑම බි්රතාන්ය හමුදාව විසින් සිදු කරන ලදී. පොලිසිය අධීක්ෂණය කිරීමේ අතිරේක රාජකාරිය සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍යයට අධික බරක් පැටවිණි. එබැවින් ෆ්රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා විසින් අගවිනිසුරුවරයාගේ කැමැත්ත ලබාගෙන මහෙස්ත්‍රාත් හා පොලිස් විනිසුරුවන්ට පොලිසිය අධීක්ෂණය කිරීමේ කාර්යය භාරදෙන ලදී. ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් නීතිය මුල්වරට සම්මත කරන ලද්දේ බි්රතාන්යය විසින් ලංකාව අත්පත් කර ගැනීමෙන් කෙටි කාලයකට පසුවය. අනතුරුව පොලිස් නිලධාරීන් හෙවත් ගමේ පොලිස් විදානේවරුන් යැයි හැඳින්වෙන මුලාදෑනින් කොටසක් ගමක් පාසා පත් කිරීමට 1806 දී රෙගුලාසි සම්මත විය. ඔවුන් එම දිස්ත්‍රික්කයේ දිසාපතිට වගකිවයුතු වූ අතර තම තමන් භාරයේ පවත්නා ගම්වල සාමය පවත්වා ගැනීමේ හා අපරාධ ගැන පරීක්ෂා කිරීමේ වගකීමද ඔවුන් සතුවිය.
ඉන් අනතුරුව වර්ෂ 1865 දී අංක 16 දරන පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමෙන් පොලිස් බළකායේ ප්‍රධානියාගේ තනතුර ප්‍රධාන පොලිස් අධිකාරී තනතුරේ සිට පොලිස්පති තනතුර ලෙස වෙනස් කරන ලද බැවින් වර්ෂ 1866 සැප්තැම්බර් 03 වැනි දින ලාංකික වර්තමාන පොලිස් සේවයේ ව්‍යවස්ථාපිත ආරම්භය සිදුවිය.
දිවයිනේ පොලිසිය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ගතික පුද්ගලයකු සොයමින් සිටි ෆ්රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා ඉන්දියාවේ පොලිස් රාජකාරිය අනුකරණය කිරීම සඳහා එම කටයුතු නිරීක්ෂණයක යෙදෙන ලදී. බොම්බේ පොලිසියේ “රත්නගිරි රේන්ජර්ස්” භාරව සිටි ශ්‍රීමත් ජී.ඩබ්.ආර්. කැම්බල් මහතාට මෙම කර්තව්‍යය භාරදෙන ලෙස බොම්බායේ ආණ්ඩුකාරවරයා නිර්දේශ කළේය. ආණ්ඩුකාරවරයා විසින් තෝරා ගන්නා ලද ජී.ඩබ්.ආර්. කැම්බල් මහතා වර්ෂ 1866 සැප්තැම්බර් 03 වන දින ප්‍රධාන පොලිස් අධිකාරී ලෙස රාජකාරි ආරම්භ කළේය.
වර්ෂ 1843 වන විටදී බලපැවැත් වූ පොලිස් ආඥා පනත අවලංගු කර දිවයිනේ ඕනෑම ස්ථානයක පොලිස් ස්ථාන පිහිටුවීමට ආණ්ඩුකාරවරයාට බලය පැවරිණි. 1845 වර්ෂයේ දී පොලිස් පරීක්ෂක තනතුර හඳුන්වා දෙමින් පොලිස් නිලධරයන් සංඛ්‍යාව වැඩි කරගෙන ඇති අතර පොලිස් පියන් තනතුර අවලංගු කර පොලිස් කොස්තාපල් තනතුර හඳුන්වා දී ඇත.
1870 වර්ෂයේදී පමණ විශාල වශයෙන් සිදුවන වාණිජ අපරාධ, අභිරහස් මිනීමැරුම් හා රහස්‍ය අනාවරණය කර ගැනීමේ අරමුණින් සිවිල් ඇඳුමින් සැරසුණ පොලිස් නිලධාරීන් යෙදවීම ආරම්භ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වර්ෂ 1891 වර්ෂයේදි පොලිස්පති තනතුරට පත්වූ මේජර් නෝලිස් මහතා විසින් ආරම්භ කරන ලද අතර එහි ප්‍රථම ස්ථානාධිපති වූයේ පොලිස් පරීක්ෂක කොතලාවල මහතා ය.
ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වශයෙන් ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා වර්ෂ 1947 ජුනි මස 01 වැනි දින රාජකාරි ආරම්භ කළ අතර එවකට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට යටත් කරන ලදී. වර්ෂ 1948 නිදහස ලබා ගැනීමත් සමඟ පොලිස් බළකාය යටත් විජිත දෘෂ්ඨියෙන් මිදුණු පොලිස් සේවාවක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ශ්‍රීමත් රිචඩි අලුවිහාරේ මහතාට ඉටු කිරීමට සිදුවිය. එම වගකීම නිසි ආකාරයෙන් ඉටු කරමින් නිලධාරින්ගේ සුභසාධනය, විමර්ශනය, අපරාධ හඳුනා ගැනීම, අපරාධ වැළැක්වීමේ සමිති, ග්‍රාමීය ස්වේච්ඡා සේවකයන්, පොලිස් කුඩාරම්, මහජන සම්බන්ධතා, නව පුහුණු ක්‍රම ආදිය ද වැඩිදියුණු කිරීමේ ක්‍රමවේද වෙනුවෙන් වටිනා කාර්යභාරයක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් එතුමා ඉටු කළේය.
අපරාධ විසඳීම සඳහා ලෝකයේ භාවිතයට ගන්නා විශේෂඥ සාක්ෂියක් ලෙස පිළිගන්නා පොලිස් නිල සුනඛ රාජකාරිය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භ කරන ලද්දේ 1948 නොවැම්බර් මාසයේදිය. මේ වන විට දිවයින පුරා ඒකක 54 කදී නිල සුනඛයන් විශාල ප්‍රමාණයක් අපරාධ විමර්ශනය, මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමේ රාජකාරිවලදී කැපි පෙනෙන දායකත්වයක් ලබාදීමට සමත්ව ඇත.
1952 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලිසියට කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම ආරම්භ කරන ලද අතර එදා සිට මේ දක්වා පැමිණි ගමන් මඟ තුළ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ සිට කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා නිලයන් දරමින් කාන්තා පොලිස් නිලධාරිනියන් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මහඟු කර්තව්‍යයක් ඉටු කරමින් සිටියි. 1979 දී ආරම්භ කරන ලද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය අද වනවිට සියලු පොලිස් ස්ථාන ආවරණය කරමින් කාන්තා නිලධාරිනියන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.
පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ අවිධියේ එනම් 2006 වර්ෂයේ දී පොලිසිය වෙත වාර්තා වන අපරාධ පරීක්ෂණය සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ලෙස ස්වීඩන් පොලිසියේ විශේෂ පුහුණුවක් ලබාදී (SOCO) නමින් ඉතා සුවිශේෂී ඒකකයක් ආරම්භ කරන ලදී. එම පුහුණුව ලත් නිලධරයන් දිවයින පුරා ඒකක 43කට අනුයුක්තව අපරාධ විමර්ශන රාජකාරි ඉටුකරනු ලබයි.
පොලිස් විද්‍යාල මගින් ලබාදෙන පුහුණුවට අමතරව පොලිසියේ අනාගත අභියෝගයන් දැනුමින් සන්නද්ධව ජය ගැනීම සඳහා 1978 වර්ෂයේ දී පොලිස් උසස් පුහුණුවීම් ආයතනය ලෙස ආරම්භ කරන ලද පුහුණු ආයතනය 2008 වර්ෂයේදි පොලිස් විද්‍යාපීඨය ලෙසත් පසුකාලීනව 2011 අංක 04 දරන පාර්ලිමේන්තු පනතින් ජාතික පොලිස් අභ්‍යාස ආයතනය නමින් ආරම්භ කර විශ්වවිද්‍යාල සම්බන්ධීකරණය කරගනිමින් පාඨමාලාවන් ලබාදීම අනාගත පොලිස් උපාධියක් කරා යන මාර්ගයට අවතීර්ණ වීමකි.
1983 වර්ෂයේ දී පොලිසියේ සන්නද්ධ ඒකකය ලෙස බි්රතාන්ය එස්.ඒ.එස් නිලධාරීන්ගේ පුහුණුවෙන් සැදුම්ලත් පොලිස් විශේෂ කාර්ය බළකාය එක්වන්නේ “නියතයි ජය” තේමාව යටතේය. පොලිස් විශේෂ කාර්ය බළකාය වත්මන් කාලයේ දී සංවිධානාත්මක අපරාධ වැළැක්වීම ප්‍රභූ ආරක්ෂාව, මත්ද්‍රව්‍ය වැටලීම හා නීතිය සාමය සුරක්ෂිත කිරීම සඳහා ආරම්භ කළ විශේෂ මෙහෙයුම් විධානයකින්ද සමන්විතව සිය රාජකාරිය වික්‍රමාන්විතව ඉටුකරනු ලබයි.
1866 සිට 2025 වසර දක්වා පොලිස්පතිවරුන් 37 දෙනකුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොලිසිය කාලානුරූපව, එහෙත් නීතිමය රාමුව ඔස්සේ මහජන සේවාවන් වඩාත් ඵලදායීව ඉටු කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කර ඇත.
අපරාධ, මත්ද්‍රව්‍ය, රිය අනතුරු, දුසිරිත් පාලනය කිරීම වෙනුවෙන් පැය 24 පුරාම කැපවී සිටී. එකී රාජකාරි ඉටුකිරීම සඳහා කැපවූ පොලිස් නිලධරයන් සංඛ්‍යාව පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුලුව 86000කට ආසන්න වේ. එම සංඛ්‍යාව දිවයින පුරා පොලිස් රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය කරන නිලධාරි ප්‍රමාණයට වඩා 30000ක පමණ ඌනතාවක් බව වත්මන් පොලිස්පතිතුමා සිදුකරන ලද සමීක්ෂණයකදී අනාවරණය කරගෙන ඇත.
2025 වනවිට ශ්‍රී ලංකාව තුළ පොලිස් ස්ථාන 608ක්, ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 45ක් සහ ක්‍රියාකාරී පොලිස් කොට්ඨාස 78ක් පොලිසිය තුළ ස්ථාපිතව ඇත. ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් විවිධ කොට්ඨාස හා රාජකාරිද පොලිස් පරිපාලනය සඳහා වෙන්කර ඇති දිසාවන් ද නව මානයකට යොමු විය. එලෙස බෙදා වෙන් කරන ලද කොට්ඨාස නිසා රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් පැමිණි ගමන් මඟ තුළ අපරාධ හා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එකල භාවිත කළ සූක්ෂම ක්රමෝපායන් විටින් විට නවීන තාක්ෂණය සමඟ මුසු කරමින් උපාය මාර්ගික ක්‍රමවේදයන් ඔස්සේ වඩාත් කාර්යක්ෂම පොලිස් සේවාවක් සැපයීම සඳහා භාවිතා කරමින් සිටී.
ජනතාවට මුහුණ දීමට සිදුවන විවිධ උවදුරුවලින් ජනතාව මුදාගෙන ඔවුන්ට බියෙන් හා සැකයෙන් තොරව තමන්ගේ දේපළ ආරක්ෂා කර ගනිමින් සමාකාමීව ජීවත්විය හැකි සමාජ පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා පොලිසිය නව තාක්ෂණය සමඟ මුසුවෙමින් එසේ ආරම්භ කරන ලද නවමු ව්‍යාපෘතියක් ලෙස ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමට (AFIS) පද්ධතිය, සැකකරුවන්ගේ පුද්ගලික තොරතුරු වලින් සමන්විත (AMI) පද්ධතිය වැනි ක්‍රමවේදයන් හඳුන්වා දිය හැක. සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මැඬලීමේ අරමුණින් අධි තාක්ෂණ ක්‍රමවේදයන් භාවිතයෙන් සැකකරුවන්ගේ මුහුණු ස්වයංක්‍රීයව හඳුනා ගැනීමේ (ARFS) පද්ධතියක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කිරීම සිදු කරන ලදී. එමගින් සැකකරුවන් විවිධාකාරයෙන් වෙස්වලා ගනිමින් මෙරටින් පිටවීමේ දී හා ඇතුළුවීමේ දී ඔවුන්ව හඳුනා ගැනීමෙන් පසු ක්ෂණිකව ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. විදේශීය රටවල පොලිසි හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඔස්සේ විදේශගතව සිට මෙරට අපරාධ කල්ලි මෙහෙයවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා ගෙන්වා ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් මෙම අවධියේදී යොමුකර ඇත.
මහා මාර්ගයේ සිදුවන මාරක රිය අනතුරු හා රථවාහන අනතුරු අවම කරගැනීම සඳහා රථවාහන වැරැදි සම්බන්ධව ක්‍රියා කිරීමට නව ක්‍රමවේදයක් ආරම්භ කර රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සඳහා සිදු කරනු ලබන කටයුතු කඩිනම් හා වැඩිදියුණු කිරීමක් සිදුකර ඇත. මෙම ක්‍රමවේදය අනුව පැය 24 පුරාම කොළඹ නගරයේ රථවාහන හා මාර්ගය CCTV තාක්ෂණය මගින් නිරීක්ෂණය කරමින් රථවාහන වැරැදි කරන්නන් හා අපරාධ සිදු කරන්නන් හඳුනා ගනිමින් ඔවුන් සම්බන්ධව ගත යුතු නීතිමය පියවර ගැනීම සඳහා ක්‍රියා කරනු ලබයි.
වත්මන් පොලිස්පතිතුමා වැඩ බලන පොලිස්පති ලෙස රාජකාරි කරන අවධියෙදී ආරම්භ කරන ලද ස්මාට් ජංගම දුරකථන මගින් වාහන දඩ පත්‍රිකා මුදල් ගෙවීමේ නියාමන ව්‍යාපෘතිය (GOV pay) දැනට සාර්ථක තත්ත්වයෙන් ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාපිත 119 දුරකථන සේවයට අමතරව නවමු දුරකතන අංකයක් ලෙස 107 දුරකථන අංකය හඳුන්වා දෙමින් දෙමළ ජනතාවගේ පැමිණිලි මෙන්ම අපරාධ සම්බන්ධ තොරතුරු දෙමළ භාෂාවෙන්ම ලබාදීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එසේම දිවයින පුරා ළමයින්ට හා කාන්තාවන්ට ක්ෂණිකව සහාය සැලසීම උදෙසා 109 දුරකථන අංකය ස්ථාපිත කර ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන අපරාධ සම්බන්ධව පැමිණිලි කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර මෙම කටයුතු සඳහා පැය 24 පුරාම කාන්තා නිලධාරිනියන් යොදවා තිබීම ද විශේෂත්වයකි.
පොලීසියේ ක්‍රියාත්මක තවත් සුවිශේෂී සේවාවක් ලෙස “පොලිස්පතිට කියන්න” (TELL IGP) වෙබ් අඩවිය හැඳින්විය හැකිය. මේ සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිසියේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පසු දිස්වන E-Service යටතේ ඇති Online Complain වෙත පිවිසීමෙන් අදාළ පැමිණිලි සෘජුවම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව පවතිනවා සේම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව පොලිස්පතිවරයා වෙත WhatsApp පණිවිඩයක් ලෙස පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 071 – 8598888 දරන නව දුරකතන අංකයක් ද හඳුන්වා දීම සුවිශේෂි වේ.
සෑම තැනැත්තෙකුටම තමන් කැමති වෘත්තියක හෝ රැකියාවක නිරත වීම සඳහා කොතරම් සුදුසුකම් තිබුණද එම රැකියාවන් ලබා ගැනීම සඳහා පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එය ලබා ගන්නා පිරිසට වඩාත් කාර්යක්ෂමව අදාළ වාර්තා නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ පහසුකම් තවදුරටත් වැඩිදියුණු කර ඇත. මෙමගින් විශේෂයෙන් විදේශීය රැකියා අපේක්ෂා කරන්නන්ට ලබාදෙන සේවය අති විශාලය.
එසේම ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය, යූ ටියුබ් නාලිකාව, ෆේස් බුක් ගිණුම ඇතුළු නව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පොලිසියේ කාර්යභාරය පිළිබඳව මහජනතාව වෙත තොරතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා පොලිසිය වඩාත් සමීප මහජන සේවාවක් බවට පත් කිරීම සඳහා සක්‍රීයව දායකත්වය ලබාදීම සිදු කරනු ලබන අතර පොලිස් නිලධරයන්ගේ දැනුම හා ආකල්ප යාවත්කාලීන කිරීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා පොලිසියේ නිල විද්‍යුත් පුවත්පත වන 119E පුවත්පත සැම මසකම පොලිස් නිලධරයන්ගේ පරිහරණය සඳහා නිකුත් කිරීම පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් සිදු කරයි.
නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත්වීමෙන් අනතුරුව පොලිසියේ දර්ශනය වන අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීම පෙරදැරි කර ගනිමින් අතීතයේ පොලිසිය තුළ තිබූ ප්‍රෞඩත්වය යළි ලබාගැනීම සඳහා පොලිසියේ අපරාධ විමර්ශනය හා අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ඒකාබද්ධව පොලිස් නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත පොලිසියට නව නිලධාරීන් බඳවා ගැනීම හා උසස්වීමි ලබාදීමේදි ඇති වී තිබෙන ගැටලු ඉතා කෙටිකාලයක් තුළදී විසඳීමත් ඊට සම්බන්ධ කනිෂ්ඨ, පරීක්ෂක ශ්‍රේණිය හා විධායක ශ්‍රේණිවල ීධඍ අනුමත කර ගැනීමත් සිදුකර ඇත. පොලිස් නිලධාරින්ගේ වැටුප් තලය නව වැටුප් තලයකට ගෙන ඒමත්, පොලිස් නිලධාරින්ගේ සුභ සාධනය උදෙසා පොලිස් ස්ථාන මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක වීමත්, ත්‍යාග හා ප්‍රශංසා ලබාදීම වෙනුවෙන් නව ක්‍රමවේද සකස් කිරීමත්, දුර්වල නිලධාරින් හඳුනාගැනීම සඳහා නව කාර්ය සාධනයක් හඳුන්වාදීමත්, මහජන දිනයක් පැවැත්වීමත් පොලිස් නිලධාරින්ගේ ගැටළු ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයෙදී සෑම බ්‍රහස්පතින්දා දිනයක්ම වෙන්කිරීමත් සිදුකර ඇත. පොලිස් නිලධාරින්ගේ විනය ඉතා යහපත් මට්ටමක තබා ගැනීම සඳහා දැඩි අවධානක් යොමුකර දූෂිත පොලිස් නිලධාරින් ඉවත් කිරීමද නව පොලිස්පති වරයාගේ පොලීසියේ ගෞරවය හා කීර්ති නාමය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ගන්නා වු උත්තුංග උත්සාහයන් වේ.
පුරා වසර 159ක් ශ්‍රී ලාංකීය සමාජයට බද්ධවෙමින් පොලිසිය පැමිණි ගමන් මඟ තුළ සාමාන්‍ය පොලිස් රාජකාරී ඉටු කිරීමේදී හා ක්‍රියාන්විත රාජකාරීන්හි නිරතව සිටියදී දිවි පිදූ සියලු පොලිස් නිලධරයන් හා අමිල සේවා කාලයකින් පසු විශ්‍රාම දිවිය ගතකරන සියලු පොලිස් නිලධරයන්ද මෙම සුවිශේෂී දිනයේදී අභිමානයෙන් යුතුව සිහිපත් කරනු ලබන අතර, මෙතෙක් පැමිණි ගමන් මඟට උර දෙමින් ලෙයින් කඳුළින් දහඩියෙන් හා ජීවිත පරිත්‍යාගයෙන් ඉටුකළා වූ නොනිමි මෙහෙවර 159 වැනි පොලිස් දිනය සමරන මේ මොහොතේ ඉමහත් අභිමානයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.