රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ සඳහන් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරමින් එම වගන්ති අභියෝගයට ලක්කෙරෙන ආකාරයේ තවත් පෙත්සම් 3ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්. එම්. විජේවික්‍රම යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරුවන් අවධාරණය කරනුයේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවයි.
මීට අමතරව අදාළ පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති එකකින් හෝ කීපයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සම මඟින් චෝදනා එල්ල කර තිබේ.
යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරය උල්ලංඝනය වීමක් සිදුවන බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන 1, 3, 4 වන ව්‍යවස්ථාවන් සහ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කරයි.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ද පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබුණි.