
99වැනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන ( 99th Academy Awards - Oscars) උළෙල නියෝජනය කිරීම සඳහා ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ජාත්‍යන්තර සම්මාන දිනූ 'රිවර්ස්ටන්' (Riverstone) සිනමාපටය නිල වශයෙන් තේරීපත්ව තිබෙනවා.
ඒ, ඇකඩමි සම්මාන උළෙලෙහි 'අන්තර්ජාතික වෘත්තාන්න චිත්‍රපට කාණ්ඩය' 'International Feature Film' යටතේයි.
'රිවර්ස්ටන්' මේ සඳහා තේරීපත්ව ඇති බව, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා විසින් අද (28) පැවැති මාධ්‍ය හමුවකදී දැනුම් දෙන ලදී.
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමෙන් පිහිටුවා ඇති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට කලා හා විද්‍යා ඇකඩමියේ අනුමැතිය හිමිවූ ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටු (NOSCSL) සභාපතිවරයා ලෙස ද කටයුතු කරන මහදිවුල්වැව මහතා සඳහන් කළ පරිදි, දේශීය තේරීම් කමිටුවේ අනුමැතිය සහ එහි සාමාජිකයින්ගේ වෘත්තීය සුදුසුකම් සලකා බැලීම ඇතුළත් ඔස්කාර් ඇකඩමියේ රෙගුලාසිවලට අනුකූලව නියාමනය කරන ලද ක්‍රියාවලියක් යටතේ මෙම තේරීම සිදු කර තිබේ.
එවැනි යාන්ත්‍රණයක් හරහා තේරී පත් වූ චිත්‍රපටයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂය.
නව දෙනෙකුගේ සමාජිකත්වයකින් සමන්විත තේරීම් කමිටුව විසින් යෝග්‍යතා නිර්ණායක සපුරාලූ සියලුම චිත්‍රපට නැරඹීමෙන් හා සලකා බැලීමෙන් පසුව සිදුකරන ඡන්ද විමසීමකින් අනතුරුව, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වඩාත් යෝග්‍යම චිත්‍රපටය තෝරාගනු ලැබ ඇති අතර, එකී තෝරාගැනීම 2026 සැප්තැම්බර් 28 වෙනි දින, එනම් අද දින නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
ජාතික ඔස්කාර් තේරීම් කමිටුවට අශෝක හඳගම, එම්. ඩී මහින්දපාල, රවීන්ද්‍ර ගුරුගේ, අනෝමා රාජකරුණා, අරුණ ගුණරත්න, විසාකේස චන්ද්‍රසේකරම්, ලක්ෂ්මන් ජෝසප් සේරම්, උදිත ලක්මාල් කහදවාරච්චි සහ සුදත් මහදිවුල්වැව යන ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළත් වේ.
රිවර්ස්ටන් චිත්‍රපටය 99 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ (ඔස්කාර්) ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපටය ලෙස තෝරා ගැනුණේ 2025 ඔක්තොම්බර් මස 01 වෙනිදා සිට 2026 සැප්තැම්බර් මස 30 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව තුළ වූ අවම වශයෙන් එක් සිනමාශාලාවක, අවම වශයෙන් දින 07 ක් අඛණ්ඩව නිෂ්පාදක හා ප්‍රදර්ශකයා වෙත ලාබ උපයාදීමේ අරමුණින් වාණිජ පදනමින් තිරගත වූ චිත්‍රපට අතරිනි.
ඒ අනුව සිංහල භාෂා චිත්‍රපට පහක් සහ දෙමළ භාෂා චිත්‍රපටයක් ඇතුළුව චිත්‍රපට හයක් කමිටුවේ සලකා බැලීමට ලක්ව තිබිණ.
(01) සංජීව පුෂ්පකුමාර නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ 'විහඟ ප්‍රේමය' (Peacock Lament)
(02) චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ සහ යසස් රත්නායක නිෂ්පාදනය කළ 'ආයු' (Ayu)
(03) ශාන්ත ගීතදේව නිෂ්පාදනය කළ සහ චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ 'ෆාදර්' (Father)
(04) රාමන්දාස් සුගන්තිනි සහ රාමන්දාස් සත්යරාජා නිෂ්පාදනය කළ, සුකීර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනෝසන් රාජේෂ්වර් අධ්‍යක්ෂණය කළ 'ඇන්තනි' (Anthony)
(05) ප්‍රභාත් රොෂාන් සහ නිමන්ති පොරගේ නිෂ්පාදනය කළ, ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ 'රිවර්ස්ටන්' (Riverstone)
(06) දිල්ෂාර ජයමාන්න අධ්‍යක්ෂණය කළ සහ රසිත ජිනසේන නිෂ්පාදනය කළ 'ක්‍රිකට් සාධු' (Cricket Sadu) ඒ අතර විය.
එම චිත්‍රපට අතරින් චිත්‍රපට දෙකක් ඔස්කා නීතිරීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් මේ සදහා සලකා බැලීමට නොහැකිව තිබේ.
අවසන ඉහත නාම යෝජනා අතුරින්, 2027 වසරේ පැවැත්වෙන 99 වන ඔස්කාර් සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය ලෙස 'රිවර්ස්ටන්' තේරීපත්විණ.
ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද 'රිවර්ස්ටන්' නිෂ්පාදනය කරන ලද්දේ, නිමන්ති පෝරගේ සහ ප්‍රභාත් රෝෂණ විසිනි.
මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක, ආනන්ද කුමාර උන්නැහේ ඇතුළු පිරිසක් ඊට රංගනයෙන් දායක වේ.