
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඕමානයේ 56 වැනි ජාතික දිනයට සමගාමීව සංවිධානය කළ සැමරුම් උළෙලක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) කොළඹදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල් රෂ්ඩි මහතාගේ ආරාධනයෙන් පැවැති මෙම උත්සවයට අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශීය තානාපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.
උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ උණුසුම් සුබපැතුම් ඕමාන සුල්තාන් හයිතම් බින් තාරික් අල් සයිඩ් මහතා වෙත සහ ඕමාන ජනතාව වෙත පිරිනමන බවයි.
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සබඳතා හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට පමණක් සීමා නොවී, ඉන්දියන් සාගරය හරහා සියවස් ගණනාවක් පුරා වර්ධනය වූ සමුද්‍රීය හා සංස්කෘතික මිත්‍රත්වයක් මත පදනම් වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. ඓතිහාසික 'ජුවල් ඔෆ් මස්කට්' නෞකාවේ ගාල්ල වරායට පැමිණීම දෙරට අතර පැවැති වෙළෙඳ හා සංස්කෘතික හුවමාරුවේ සංකේතයක් බව ද ඔහු සිහිපත් කළේය.
එමෙන්ම, රාජකීය ඕමාන් පොලිසියේ ප්‍රථම පොලිස්පතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයකු වන ෆීලික්ස් ද සිල්වා මහතා කටයුතු කිරීම දෙරට අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසයට කදිම නිදසුනක් බව ද අමාත්‍යවරයා පැවසීය.
දැනට ශ්‍රී ලාංකිකයන් 30,000කට ආසන්න පිරිසක් ඕමානයේ සේවය කරමින් එරට ආර්ථිකයට දායකත්වය ලබාදෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඕමාන රජය දක්වන සහයෝගය අගය කළේය. ඉදිරියේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඕමානයේ රැකියා අවස්ථා තවදුරටත් පුළුල් වනු ඇතැයි ද ඔහු අපේක්ෂා පළ කළේය.
2026 වසර වන විට ශ්‍රී ලංකාව සහ ඕමානය අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 45ක් සපිරෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, 2026 අගෝස්තු මාසයේදී මස්කට් නුවර පැවැති සිව්වැනි ද්විපාර්ශ්වික සාකච්ඡා වටයේදී වෙළෙඳාම, ඩිජිටල්කරණය සහ නවෝත්පාදන ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව ද පැවසීය.
ඕමාන වෙළෙඳ උපදේශකවරයකු මෙන්ම ඕමාන් ක්‍රිකට් සභාපතිවරයා ද වන පංකජ් කිම්ජි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආර්ථික හා ක්‍රීඩා සබඳතා වර්ධනයට දායක වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලාංකික තරුණ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සඳහා අරාබි භාෂා ශිෂ්‍යත්ව පිරිනැමීම සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය හා ඕමාන රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා ඕමාන විදේශ කටයුතු අමාත්‍යාංශයට සිය ස්තූතිය පළ කළේය.
එමෙන්ම, 2025 නොවැම්බර් මාසයේදී යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා - ඕමාන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.
කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, ධීවර කර්මාන්තය, තිරසාර ජලජ වගාව සහ සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙරටම කැපවී සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.
තවද, පුනර්ජනනීය බලශක්තිය, ප්‍රවාහන හා සැපයුම් සේවා, සංචාරක කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්රවල ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද ඔහු ඕමාන ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල් රෂ්ඩි මහතා ඇතුළු තානාපති කාර්ය මණ්ඩලයට සිය ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, ඕමාන සුල්තාන් රාජ්‍යයට සහ එහි ජනතාවට තිරසාර සමෘද්ධිය, සාමය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කළේය.