
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ අභිමානවත් 83 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා නිම කළ ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 04 දෙනෙකු සහ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 217 දෙනෙකු විසිර යාමේ උත්සවය අද (2026 නොවැම්බර් 20) ඉතා උත්කර්ෂවත් හා ගාම්භීර අන්දමින් පැවැත්විණි.විශේෂ කාර්ය බලකා කටුකුකරුන්ද පුහුණු පාසල් පරීශ්‍රයේදී පැවැත්විනි.
දැඩි විනයක්, ඉහළ ශාරීරික යෝග්‍යතාවයක් සහ උසස් සටන් පුහුණුවක් සම්පූර්ණ කරමින් මෙම නවක නිලධාරීන් විශේෂ කාර්ය බලකායේ අනන්‍යතාවය සංකේතවත් කරන කොළ පැහැති හිස් වැසුම් පැළඳ, අභිමානවත් විශේෂ කාර්ය බලකා පවුලට නිල වශයෙන් එක්වීම මෙහිදී සිදු විය.
මෙම සුවිශේෂී අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහභාගී වූ අතර, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ උසස් නිලධාරීන් රැසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ.
උත්සවය නැරඹීමට පැමිණ සිටි ආරාධිතයන් සහ නවක නිලාධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ, පුහුණුව නිම කළ සෙබළුන් සිය අසමසම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළහ. එහිදී විශේෂයෙන්ම ඉහළ නිරවද්‍යතාවයකින් යුත් ස්නයිපර් වෙඩි තැබීමේ සංදර්ශන ඇතුළු තවත් විශේෂ සටන් කුසලතා සහ උපක්රමික දස්කම් රැසක් ඉදිරිපත් කරමින් විශේෂ කාර්ය බලකායේ විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කළහ. මෙලෙස සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කළ මෙම දක්ෂ නිලධාරීන් 221 දෙනා, ඉදිරියේදී දිවයින පුරා පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරු වෙත අනුයුක්ත කෙරෙනු ඇත. මව්බිමේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමත්, රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමත් වෙනුවෙන් ඔවුන් සිය සේවය කැපවීමෙන් යුතුව ඉටු කිරීමට නියමිතය.