
සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම 2027 ජනවාරි මාසයේදී ලබාදීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
එමෙන්ම, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විපක්ෂය පෞද්ගලික මට්ටමින් අසත්‍ය කරුණු සමාජගත කිරීම කණගාටුදායක තත්ත්වයක් බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී විශේෂ වියදම් ඒකක පිළිබඳ අදහස් දක්වමින් නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය, ජනාධිපති අරමුදලේ ප්‍රගතිය, අධ්‍යාපන සුබසාධනය සහ ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද ඇය මෙහිදී කරුණු පැහැදිලි කළාය.
රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප අදියර තුනකින් ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ යටතේ 2025 සහ 2026 වසරවලදී පළමු හා දෙවන අදියර ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, එහි තුන්වන අදියර 2027 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කරන බව පැවසුවාය. එමෙන්ම, පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය කිරීම සඳහා පත් කළ විශේෂ කොමිසමේ වාර්තාව 2027 ජූලි මාසයේදී ලැබීමට නියමිත බවත්, එහි නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බවත් ඇය ප්‍රකාශ කළාය.
ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සැලසීම හේතුවෙන් 2025 වසරේදී 1,664ක්ව පැවති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2026 වසර වන විට 27,948 දක්වා ඉහළ ගොස් ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමවේද හේතුවෙන් පසුගිය වසර දෙක තුළ එහි මූල්‍ය ශක්තිය සියයට 150කින් වර්ධනය වී ඇති බව ද ඇය සඳහන් කළාය.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ඇස් කණ්ණාඩි 2,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා දී ඇති අතර, රජයේ රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා පවතින පොරොත්තු ලේඛන අඩු කිරීමේ අරමුණින් හම්බන්තොට මහ රෝහලේ රෝගීන් 570 දෙනකුට සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝගීන් 600 දෙනකුට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද ඇය පැවසුවාය.
විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍ය දීමනාව සියයට 100කින් ඉහළ නංවා ඇති බවත්, පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යමින් එහි ප්රතිලාභ සහ ආවරණය වන රෝගී තත්ත්වයන් පුළුල් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ අධ්‍යාපනය සම්බන්ධ ඩිජිටල් කාර්යසාධක බලකායක් පිහිටුවා සක්‍රීයව ක්‍රියාත්මක කරන බවත්, මහජන පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් පසු විපරම් ක්‍රියාවලියක් පවත්වාගෙන යන බවත් ඇය පැවසුවාය.
පාසල් ප්‍රජාව සහ අනෙකුත් අමාත්‍යාංශ සම්බන්ධ කරගනිමින් 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන ක්‍රියාත්මක වන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, රාජ්‍ය ආයතන තුළ නාස්තිය හා දූෂණය අවම කිරීම, සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සංචාරක සංවර්ධනය සහ ආගමික නායකයන් සමඟ සංවාද තුළින් සාමය හා සංහිඳියාව තහවුරු කිරීම සඳහා ද පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළාය.
17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් සභා සඳහා සුදුසු සාමාජිකයන් පත් කර ඇති බවත්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ පැමිණිලි විමර්ශනය කිරීමේ ප්‍රතිශතය වසරින් වසර ඉහළ ගොස් ඇති බවත් ඇය සඳහන් කළාය. මානව හිමිකම් කොමිෂන් සභාව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද ප්‍රතිපත්ති සම්පාදනයට හා ගැටලු විසඳීමට සක්‍රීයව දායක වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
විපක්ෂය විසින් ඉදිරිපත් කරන සාධනීය හා ගෞරවාන්විත විවේචන රජය සැමවිටම පිළිගන්නා නමුත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පෞද්ගලික මට්ටමින් අසත්‍ය කරුණු සමාජගත කිරීම කණගාටුදායක බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
රට පරිවර්තනීය ගමනක නිරතව සිටින මෙවැනි අවස්ථාවක විපක්ෂය ශිෂ්ට සම්පන්නව හා වගකීම්සහගතව කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.