
දකුණු ඉන්දීය නළු විජේ සිය දේශපාලන පක්ෂය වන තමිලගා වෙට්රි කසාගම් (TVK) හි මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය පසුගියදා (අප්‍රේල් 16) එළිදක්වනු ලැබුවා.
ඒ, අප්‍රේල් 23 වැනිදා පැවැත්වීමට නියමිත තමිල්නාඩු සභා මැතිවරණය ඉලක්ක කරගනිමිනි.
පක්ෂ නායක විජේ සිය මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් අවධාරණය කර සිටියේ තම පක්ෂය "පිරිසිදු පරිපාලනයක්" අරමුණු කරන බවත්, DMK හෝ අනෙකුත් පක්ෂ මෙන් ජනතාව නොමඟ නොයවන බවයි.
ඒ අනුව ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කාන්තාවන්, ගොවීන් සහ ධීවරයින් සඳහා සහන රැසක් ලබාදීමට පොරොන්දුවී තිබේ.
TVK ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, තමිල්නාඩු සභා මැතිවරණයෙන් බලයට පත් වුවහොත්, වයස අවුරුදු 60 දක්වා සෑම පවුලකම ගෘහණියකගේ ගිණුමට මාසිකව රුපියල් 2,500ක ආධාරයක් සහ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 5ට අඩු පවුල්වල සෑම මනාලියකටම රන් ග්‍රෑම් 8ක් ද අගනා සිල්ක් සාරියක් ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.
එමෙන්ම ගෑස් සහන යටතේ, සෑම නිවසකටම වසරකට නොමිලේ ගෑස් සිලින්ඩර 6 බැගින් ලබාදීමට ද පොරොන්දු වී තිබේ.
කාන්තා ස්වයං රැකියා කණ්ඩායම් සඳහා රුපියල් ලක්ෂ 5 දක්වා පොලී රහිත ණය, උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා අධ්‍යයන කටයුතු වෙනුවෙන් ඇපකරුවන් රහිතව රුපියල් ලක්ෂ 20 ක අධ්‍යාපන ණය සහතිකයක්, රජයේ හෝ රජයේ ආධාර ලබන පාසල්වල දරුවන්ගේ මව්වරුන්ට වසරකට රුපියල් 15,000 ක දීමනාවක් ලබාදීමට ද TVK සිය ප්‍රතිපත්ති ප්රකාශනයෙන් අරමුණු කෙරේ.
එපමණක් නොව රැකියා විරහිත උපාධිධාරීන් සඳහා මසකට රුපියල් 4,000 ත් 5,000 ත් අතර දීමනාවක් ලබාදීමට ද පොරොන්දු වී තිබේ.
ප්‍රකට නායක කාමරාජ් මහතාගේ නමින් විශේෂ නේවාසික පාසල් 100ක් සඳහා ද පොරොන්දු වී ඇත.
සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය යටතේ සෑම පවුලකටම රුපියල් ලක්ෂ 25 ක වෛද්‍ය රක්ෂණ ආවරණයක් ද වැඩිහිටියන්, වැන්දඹුවන් සහ ආබාධිත පුද්ගලයන් සඳහා වන මාසික විශ්‍රාම වැටුප රුපියල් 3,000 දක්වා ඉහළ නැංවීමට ද කටයුතු කරන බව අවධාරණය කර තිබේ.
ගොවි සහ ධීවර ජනතාව පිළිබඳව සලකා අක්කර 5 ට අඩු ගොවීන්ගේ සමුපකාර ණය සම්පූර්ණයෙන් කපා හැරීම සහ අක්කර 5 ට වැඩි අයට 50% ක සහනයක් ද ධීවර සහන යටතේ වාර තහනම් කාලය සඳහා රුපියල් 27,000 ක දීමනාවක් සහ ඉන්ධන සහනාධාර ලබාදීමට ද පොරොන්දු වී ඇත.
TVK සිය ප්‍රතිපත්ති ප්රකාශනයෙන්, තාක්ෂණය කෙරෙහි ද සුවිශේෂී අවදානයක් යොමුකර තිබේ.
ඒ අනුව ඉන්දියාවේ ප්‍රථම කෘත්‍රිම බුද්ධි (AI) අමාත්‍යාංශය, AI විශ්වවිද්‍යාලය සහ AI නගරය පිහිටුවීමට පොරොන්දු වී ඇත.
සිය ඉලක්කය වන්නේ, 2036 වන විට තමිල්නාඩු ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 1.5 දක්වා වර්ධනය කිරීම බවද ඔවුන් සිය ප්‍රතිපත්ති ප්රකාශනය තුළින් පෙන්වා දෙයි.