
ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට ගෞතම් අදානි පත්ව තිබෙනවා.
ඒ, මුකේෂ් අම්බානි අභිබවා යමින්.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම මුකේෂ් අම්බානිගේ ව්‍යාපාරික අධිරාජ්‍යයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, එහි වාසිය ගෞතම් අදානි වෙත හිමිව ඇති බව Financial Times වාර්තා පෙන්වා දෙයි.
ලොව විශාලතම තෙල් පිරිපහදුව මෙහෙයවන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) හි සභාපති අම්බානිගේ වත්කම මේ වසරේදී ඩොලර් බිලියන 16.9 කින් පහත වැටී ඇත.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට (Bloomberg Billionaires Index) අනුව, එය ආසියාවේ ධනවත්ම පුද්ගලයින් අතර වාර්තා වූ විශාලතම පහත වැටීම වන අතර, ඒ අනුව ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 90.8 ක් දක්වා අඩු වී තිබේ.
ඊට සාපේක්ෂව, ගල්අඟුරු වෙළඳාම, පුනර්ජනනීය බලශක්තිය සහ සිමෙන්ති වැනි ක්ෂේත්රවල ව්‍යාපාරයන්හි නියැලෙන අදානිගේ වත්කම එම කාලය තුළම ඩොලර් බිලියන 8.1 කින් වර්ධනය වී ඇති අතර, ඔහුගේ මුළු වත්කම ඩොලර් බිලියන 92.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මැදපෙරදිග යුද්ධයේ ප්‍රතිවිපාක ගෝලීය වෙළෙඳපොළ හරහා පැතිර යාමත් සමඟ ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයින්ට මේ වසරේදී සමූහිකව ඩොලර් බිලියන 28.1 ක වත්කමක් අහිමි වී තිබේ.
ඉන්දියාව වැනි තෙල් ආනයනය කරන රටවලට මෙයින් දැඩි බලපෑමක් එල්ල වී ඇත.
රිලයන්ස් සමූහ ව්‍යාපාරයේ ආදායමෙන් අඩකට වඩා තවමත් පෙට්රොකෙමිකල් අංශයෙන් ලැබෙන බැවින්, එහි කොටස් මිල මේ වසරේ 14% කින් පහත වැටී ඇත.
ඊට සාපේක්ෂව, අදානි සමූහයේ වරාය සහ බලශක්ති අංශවල කොටස් මිල ඉහළ ගොස් ඇති අතර, ඔහු නව ගුවන් තොටුපළවල් විවෘත කිරීම සහ බලශක්ති ව්‍යාපෘති පුළුල් කිරීමේ ප්‍රධාන ආයෝජන සැලසුම් සමඟ ඉදිරියට යමින් සිටියි.
ඉන්දීය කෝටිපතියන් දෙදෙනාගේ ධන ශ්‍රේණිගත කිරීම් ඉදිරියටත් වෙනස් විය හැකි වුවද, පවතින ගෝලීය ව්‍යාපාරික වටපිටාව අනුව මේ වසර ගෞතම් අදානිට හිමි වනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයෝ විශ්වාස කරති.