
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතාව දිගටම පවත්වාගෙන යාම හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය දැන් නැවතත් "පෙර පැවති තත්ත්වයට" පත් කර ඇති බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ඒකාබද්ධ යුද අණදෙන මූලස්ථානය ප්‍රකාශ කර ඇත.
ඉරානයේ IRIB විකාශන සේවය උපුටා දක්වන පරිදි, IRGC අණදෙන මූලස්ථානය පවසා ඇත්තේ එක්සත් ජනපදය "අවහිරතාවක් යන මුවාවෙන් මුහුදු කොල්ලකෑම් සහ නාවික සොරකම් දිගින් දිගටම සිදු කරන" බවයි.
"මේ හේතුව නිසා, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය නැවත පෙර තත්ත්වයට පත් කර ඇති අතර, මෙම මාර්ගය දැන් සන්නද්ධ හමුදාවන්ගේ දැඩි කළමනාකරණය සහ පාලනය යටතේ පවතියි" යනුවෙන් සඳහන් කර තිබේ.
"ඉරානයේ සිට ගමන් කරන සහ නැවත ඉරානය වෙත පැමිණෙන නෞකා සඳහා පූර්ණ නාවික නිදහස එක්සත් ජනපදය විසින් නැවත ලබා දෙන තෙක්, හෝමූස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය දැඩි ලෙස පාලනය කෙරෙන අතර එය පෙර පැවති තත්ත්වයේම පවතිනු ඇත," යැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.