
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, අමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා 'ප්‍රථම කාන්තා තානාපතිනිය' වනු ඇති.
වෘත්තීය දිවිය තුළ ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තනතුරු කිහිපයක්ම හොබවා තිබේ.
නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස හා රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස 2021 අප්‍රේල් සිට 2024 අප්‍රේල් දක්වා ඇය සේවය කර ඇත.
2015 සිට 2019 දක්වා ඇය පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ද සේවය කර තිබේ.
රණරාජ මහත්මිය යුක්රේන රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද එම විශ්වවිද්‍යාලයෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදි උපාධියක්ද ලබා ඇත.
ඇය කොළඹ ජාත්‍යන්තර අධ්‍යනය පිළිබඳ බණ්ඩාරනායක අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා තිබේ.
ඇය සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.