
ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික සාගර ජීව විද්‍යාඥවරියක් වන ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය, එක්සත් රාජධානියේ සමුද්‍ර ජීව විද්‍යා සංගමයෙන් (Marine Biological Association - MBA) ගෞරවනීය ඇගයීමක් ලබා දී තිබේ.
එම සංගමයේ රාජකීය ප්රඥප්තියට (Royal Charter) අනුව, සමුද්‍ර ජීව විද්‍යා ක්ෂේත්රයට ඉහළ මට්ටමින් සිදු කරන ලද සුවිශේෂී සහ බලපෑම් සහගත දායකත්වයන් ඇගයීම වෙනුවෙන් මෙම ගෞරවනීය පදවිය "Fellow" පිරිනමනු ලැබේ.
ආචාර්ය ආශා ඩි වොස් සාගර අධ්‍යාපනඥවරියක, ලේඛිකාවක මෙන්ම උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් පිළිබඳ දීර්ඝකාලීන පර්යේෂණවල පුරෝගාමියා ද වේ.
ඇය ශ්‍රී ලංකාවේ පළමු ගැඹුරු මුහුදු ගවේෂකවරිය (Deep-sea explorer) ලෙස ද ඉතිහාසයට එක්ව සිටී.
සමුද්‍ර සංරක්ෂණ ක්ෂේත්රය තුළ විවිධත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් හඬ නගන ඇය, උතුරු ඉන්දියන් සාගරයේ සමුද්‍ර ක්ෂීරපායින් සහ ගැඹුරු මුහුදු පර්යේෂණ පිළිබඳ දශක ගණනාවක ක්ෂේත්‍ර අත්දැකීම් ලබා ඇත.
ශාන්ත ඇන්ඩෘස් (St. Andrews), ඔක්ස්ෆර්ඩ් (Oxford) සහ University of Western Australia යන විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ඇති ඇය, ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ සහ අධ්‍යාපන සංවිධානය වන 'ඕෂන්ස්වෙල්' (Oceanswell) ආයතනය පිහිටුවීමට කටයුතු කළාය.
සමුද්‍ර විද්‍යාවට අවස්ථාවක් නොමැති බවට සැලකූ රටක, නව පරපුරේ ශ්‍රී ලාංකික සමුද්‍ර විද්‍යාඥයින් පුහුණු කිරීමට සහ ඔවුන්ට නව අවස්ථා උදා කර දීමට ඇය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
මීට අමතරව ඇය "University of Western Australia" හි සාගර ආයතනයේ අනුබද්ධ පර්යේෂණ විශේෂ සාමාජිකාවක් ලෙසත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අට දෙනෙකුගෙන් යුත් බාහිර විද්‍යාත්මක උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කරයි.
විද්‍යා සන්නිවේදිකාවක ලෙස දේශන, වාර්තා වැඩසටහන් සහ සාගරය පිළිබඳ කෘති තුනක් හරහා ලොව පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ ඇය, BBC, The New York Times, TED සහ National Geographic වැනි ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට ලක්ව ඇත.
ආචාර්ය ආශා ඩි වොස් ලැබූ ප්‍රධාන ජාත්‍යන්තර ගෞරව සහ සම්මාන කිහිපයක් පහත පරිදි වේ.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිය ඡායාරූපයක් ප්‍රදර්ශනයට තැබූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වීම. 2018 වසරේ ලොව වඩාත්ම ආශ්වාදජනක සහ බලපෑම් සහගත කාන්තාවන් 100 දෙනාගේ (BBC 100 Women) ලැයිස්තුවට ඇතුළත් වීම සහ LMD සඟරාවේ 'වසරේ ශ්‍රී ලාංකිකයා' ලෙස නම් කිරීම. 2020 වසරේ ක්ෂේත්‍ර ජීව විද්‍යාව සඳහා පිරිනැමෙන පළමු 'මැක්ස්වෙල්-හැන්රාහන්' (Maxwell-Hanrahan) සම්මානය සහ Scuba Diving සඟරාවේ 'වසරේ සාගර වීරයා' (Sea Hero of the Year) සම්මානය හිමිවීම. 2021 වසරේ 'වනිතාභිමානී' යාවජීව සම්මානය සහ Tällberg-SNF-Eliasson ගෝලීය නායකත්ව ත්‍යාගය දිනා ගැනීම. 2023 වසරේ බ්‍රිතාන්‍ය පාරිසරික සංගමයේ සමානාත්මතා සහ විවිධත්ව ශූරිය ලෙස නම් කිරීම සහ අමෙරිකාවේ කැලිෆෝනියා විද්‍යා ඇකඩමියේ Osher අධිසාමාජිකාවක් ලෙස පත්වීම. 2026 වසරේ Forrest පර්යේෂණ පදනමේ 'Thinker-in-Residence' ලෙස නම් කිරීම.