
දිට්වා ව්‍යසනයෙන් ආපදාවට පත් වූ ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනක් නොවැම්බර් 28 සහ 29 යන දෙදින තුළ ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙහි පාසල් 135ක සිසුන් 1,193දෙනෙකුට මෙහිදී ඇස් කණ්ණාඩි ප්රදානය කිරීමට නියමිතය.
මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර, තෙල්දෙණිය, වත්තේගම සහ කටුගස්තොට අධ්‍යාපන කලාපවල පාසල් සිසුන් සඳහා නොවැම්බර් 28වෙනිදා වත්තේගම සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේදී ඇස් කණ්ණාඩි ප්රදානය කෙරේ.
එදිනම ගම්පොළ සහ දෙනුවර අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම ජිනරාජ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී සිදු කෙරේ.
මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නාඋල, ගලේවෙල සහ මාතලේ අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ඇස් කණ්ණාඩි ප්රදානය නොවැම්බර් 28වෙනිදා මාතලේ විජය ජාතික පාසලේදී සිදු කෙරේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, වලපනේ සහ හඟුරන්කෙත අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ඇස් කණ්ණාඩි ප්රදානය නොවැම්බර් 29දා නුවරඑළිය සිනෙසිටා ශාලාවේදී සිදු කිරීමට නියමිතය.
නුවරඑළිය, හැටන් අධ්‍යාපන කලාපයේ දරුවන්ට ඇස් කණ්ණාඩි ලබා දීම එදිනම හැටන් හයිලන්ඩ්ස් විදුහලේදී සිදු කෙරේ.
ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ ජනාධිපති අරමුදලේ නව වැඩසටහනක් ලෙස හඳුන්වා දුන් මෙම වැඩසටහන මගින් ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත සියලු විශ්වවිද්‍යාල සිසුන්ට, කාර්මික විද්‍යාල සිසුන්ට සහ පාසල් සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සිදු කෙරේ.
එක්සත් රාජධානියේ Stroud Rotary Club සහ Wish පදනම මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය සපයයි.