
ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ නායකත්වයේ සිදුකළ වෙනස්කම්වල කොටසක් ලෙස, එරට වසර 125ක යුද හමුදා ඉතිහාසය තුළ ප්‍රථම වතාවට හමුදාව මෙහෙයවීම සඳහා කාන්තාවක පත් කරන බව ඕස්ට්‍රේලියාව නිවේදනය කර ඇත.
ඒ අනුව දැනට ඒකාබද්ධ කාර්ය සාධන ප්‍රධානියා ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් (Susan Coyle), එළඹෙන ජූලි මාසයේදී නව යුද හමුදාපතිවරිය ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවයි එරට රජය සඳහන් කරන්නේ.
ඇය, 2022 ජූලි මාසයේ සිට එම ධුරය දැරූ ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට් වෙනුවට පත් වනු ඇත.
ලුතිනන් ජෙනරාල් කොයිල්ගේ වසර 40කට ආසන්න හමුදා වෘත්තීය ජීවිතය තුළ ඇය ඇෆ්ගනිස්ථානය සහ මැදපෙරදිග මෙහෙයුම්වලදී ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරිනියක ලෙස කටයුතු කර ඇත.
මෙම පත්වීම සිදුවන්නේ ඕස්ට්‍රේලියානු හමුදාව තුළ පවතින ක්රමානුකූල ලිංගික හිංසනය සහ වෙනස්කොට සැලකීම පිළිබඳ චෝදනා මධ්‍යයේ, හමුදා නිලතල සඳහා කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට උත්සාහ කරන වකවානුවකදීය.
ඒ අනුව "ලබන ජූලි මාසයේ සිට, ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ වසර 125ක ඉතිහාසයේ ප්‍රථම වතාවට අපට කාන්තා හමුදාපතිවරියක සිටිනු ඇත," යනුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර තිබේ.
ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් මෙය "අතිශය ඓතිහාසික මොහොතක්" ලෙස හඳුන්වා දෙන අතර, හමුදාවේ සේවය කරන සහ අනාගතයේදී එක්වීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට මෙය මහත් දිරිගැන්වීමක් වනු ඇති බව සඳහන් කරයි.
55 හැවිරිදි ලුතිනන් ජෙනරාල් කොයිල්, සයිබර් යුද තාක්ෂණය වැනි අංශවල තමන් සතු පළපුරුද්ද සිය වගකීම් ඉටු කිරීමට ශක්තිමත් පදනමක් සපයන බව අවධාරණය කර ඇත.
මීට අමතරව, රජය විසින් වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් මාර්ක් හැමන්ඩ්, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ (ADF) නව ප්‍රධානියා ලෙස පත් කර ඇති අතර, නාවික හමුදාපති ධුරය සඳහා රියර් අද්මිරාල් මැතිව් බක්ලි පත් කර තිබේ.