
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වීමට නියමිත මීළඟ වටයේ සාකච්ඡා සඳහා මෙතෙක් කිසිදු දිනයක් නියම කර නොමැති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් ඛාතිබ්සාදේ (Saeed Khatibzadeh) පවසනවා.
දෙරට අතර ඉස්ලාමාබාද් නුවර පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී සතියකට පසු ඔහු මෙම අදහස් පළ කර තිබේ.
තුර්කියේ (Antalya) පැවැති රාජ්‍ය තාන්ත්‍රික සංසදයක් අතරතුර සයීඩ් ඛාතිබ්සාදේ මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබේ.
"අසාර්ථක වීමට ඉඩ ඇති හෝ තවත් ගැටුම්කාරී තත්ත්වයකට නිදහසට කරුණක් විය හැකි කිසිදු සාකච්ඡාවකට හෝ හමුවකට පිවිසීමට අපට අවශ්‍ය නැහැ. අවබෝධතා රාමුවට එකඟ වන තෙක් අපට දිනයක් නියම කළ නොහැකියි."
සාකච්ඡාවල "සැලකිය යුතු ප්‍රගතියක්" ඇති වූ බව පවසන ඛාතිබ්සාදේ, නමුත් ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් "අන්තවාදී ප්‍රවේශයක්" අනුගමනය කළ බවට චෝදනා කරයි.
ඉරානය ජාත්‍යන්තර නීතියෙන් බැහැර වූ සුවිශේෂී රටක් ලෙස සැලකීමට ඇමෙරිකාව උත්සාහ කළ බවත්, ඉරානය එවැනි තත්ත්වයක් කිසිසේත් පිළි නොගන්නා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.