
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) අතරමඟ නතර වූ දෙවන මඟී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගභාගයේදී යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
දෙවන මඟී පර්යන්ත ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසෝමාටා අකියෝ මහතා ප්රමුඛ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නියෝජිත පිරිසක් සමඟ අමාත්‍යවරයා පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව වරාය සහ සිවිල් ගුවන් අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය 2020 දෙසැම්බර් මාසයේදී ජපන් රජයේ යෙන් බිලියන 75ක ණය ආධාර යටතේ JICA ආයතනය මඟින් ආරම්භ කළ අතර, රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර කෙරිණි.
පසුව 2024 වසරේ අගභාගයේදී ව්‍යාපෘතිය සඳහා ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යළි ආරම්භ කළ අතර, 2025 වසරේදී එය අවසන් කිරීමෙන් අනතුරුව මේ වන විට අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ අවසන් අදියර ක්‍රියාත්මක වෙමින් පවතී.
ශ්‍රී ලංකා රජය, ජපන් රජය සහ JICA ආයතනය අතර පැවැති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව, ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිපාදන ලබාදීමට එකඟතාවකට පැමිණ ඇති බව ද වාර්තා වේ.
සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ණය මුදල සහ කොන්ත්‍රාත් වටිනාකම සම්බන්ධ අනුමැති කඩිනමින් ලබාගෙන නොවැම්බර් මාසයේදී ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමයි.
ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ණය මුදල් ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ කඩිනම් සාකච්ඡා පවත්වා අනුමැතිය ලබාගැනීමට අමාත්‍යවරයා එකඟ වී ඇති අතර, මෙම ව්‍යාපෘතිය ජාතික වශයෙන් ඉතා වැදගත් බැවින් ජනාධිපතිවරයාගේ ද අවධානය ඒ සඳහා යොමුව ඇති බව සඳහන් වේ.
JICA නියෝජිතයින් යෝජනා කර ඇත්තේ පළමු අදියර ලෙස ණය මුදල ස්ථිර කර ණය ගිවිසුම් අත්සන් කිරීමත්, දෙවන අදියර ලෙස එකඟ වූ මිල ගණන් මත කොන්ත්‍රාත්තුව පිරිනැමීමත් සිදු කළ යුතු බවයි. ව්‍යාපෘතිය යළි ආරම්භ කළ දින සිට මාස 30ක් ඇතුළත එය නිම කිරීම සිය ඉලක්කය බව ද ඔවුහු ප්‍රකාශ කළහ.
මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම්වරයා, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ වැඩබලන සභාපති ඩබ්.ඩබ්.එස්. මංගල මහතා ඇතුළු ගුවන්සේවා සමාගමේ සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද එක්ව සිටියහ.