
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (12) කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට සහ එහි පැවති සාකච්ඡාවකට එක් වු අතර, එම අවස්ථාවට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ද සහභාගී විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලද පුළුල් ප්‍රතිසංස්කරණ හා නවීකරණ කටයුතුවලින් අනතුරුව, මෙරට ප්‍රධානතම පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෑතක දී යළි විවෘත කරන ලදි.
රුපියල් මිලියන ගණනක පිරිවැයකින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය, පොදු ප්‍රවාහන යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් රජයේ " Clean ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද්දකි.
මෙම සංචාරය අතරතුර දී අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණය කළ අතර, එහි පවතින පහසුකම්, සේවාවන් සහ මෙහෙයුම් කටයුතු සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලූහ.
අනතුරුව පැවැති සාකච්ඡාවේ දී, බස් පර්යන්තයේ නඩත්තු කටයුතු, මෙහෙයුම් කළමනාකරණය, දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, ආරක්ෂාව මෙන්ම එහි දෛනික ක්‍රියාකාරිත්වයේ දී මතුවන විවිධ අභියෝග පිළිබඳව අවධානය යොමු විය.
එමෙන්ම, මගී පහසුව, රථවාහන ගමනාගමනය, පිරිසිදුකම සහ සමස්ත මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගත යුතු ප්‍රායෝගික පියවර පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
මෙම නිරීක්ෂණ චාරිකාව සහ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයන් ද සහභාගී විය.