
කාවන්තිස්ස හස්තියා වෙනුවෙන් වන සියලු වියදම් දැරීමට තමා සූදානම් බව, ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.
සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
තමන් අදාළ මූල්යමය වගකීම ගන්නා නමුත් එය සම්බන්ධීකරණය කිරීමේ වගකීම රාජ්ය සතු බවත් ඔහු සිය සටහනින් අවධාරණය කර ඇත.
එම සම්පූර්ණ සටහන පහතින්,
''කාවන්තිස්ස මහ ඇතාව සුවපත් කරන්න අවශ්ය කරන සෑම සතයකම වගකීම මම බාර ගන්නවා. ඒකේ ආයෙ කතා දෙකක් නෑ. හැබයි ඒ සියල්ලක්ම සම්බන්ධීකරණය කිරීමේ වගකීම තියෙන්නෙ රජය, වනජීවී දෙපාර්තමේන්තුව ඇතුලු අදාළ ආයතන වලට.
මම දන්න තරමට තායිලන්තයේ මේ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලද වෛද්ය කණ්ඩායම්, ඖෂධ සහ ප්රතිකාර තිබෙනවා. ඉතින් මම වගේ අය ඒ සියලුම විය හියදම් දරන්න සූදානම් වෙලා තියෙද්දිත් තවත් ප්රමාද වෙන්න එපා. ව්යවසායකයෙක් විදියට මගේ යුතුකම මම රට වෙනුවෙන් කරන්නම්.
ඒ නිසා මේ වෙලාවෙ එකා වගේ එකතු වෙලා කාවන්තිස්ස මහ ඇතාව අපි රැකගමු.!''
''කාවන්තිස්ස මහ ඇතාව ඉක්මනින් ප්රතිකාර කරලා ගොඩ ගන්න පුලුවන් ක්රමය මොකද්ද කියල දැන්වත් අපිට කියන්න. මේ වෙලාවෙ වනජීවි එකට සහ ඔයාල එක්ක එන්න වෛද්ය කණ්ඩායම් වලට තනිවම මේ ප්රාතිහාර්ය කරන්න බෑ කියන එක දැන්වත් පිළිගන්න. ඒ නිසා මේ වෙලාවෙ මහ ඇතාව ආරක්ෂා කරගන්න අපෙන් හැකි ඔනෑම උදව්වක් ඉල්ලන්න.!
මේ මොහොතේ කාවන්තිස්ස මහඇතාට ප්රතිකාර කරන්න අවශ්ය කරන සියලුම ඖෂධ වර්ග ඇතුලු වෛද්ය කණ්ඩායම් සියල්ලක්ම තායිලන්ත රජයෙන් ගෙන්වාදෙන්න අවැසි වියහියදම් සියල්ලක්ම දරන්න මගේ 'අරලිය' සමූහ ව්යාපාරය සූදානම්. ඒ නිසා මේ පණිවිඩය ජනාධිපතිතුමාට, වනජීවි ඇමතිතුමාට ඇතුලු සියල්ලන්ටම යොමු කරවන්න. ''
මෙරට සිටින විශාලතම සහ උසම වන හස්තියෙකු ලෙස ප්රකට කාවන්තිස්ස මහ ඇතු අද (16) උදෑසන සියඹලන්ගමුව ප්රදේශයේ ඇදවැටී සිටියදී හමුවී තිබේ.
ගල්ගමුව ප්රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතුව තිබූ අතර, ඔහුගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්රතිකාර ආරම්භ කර තිබුණි.
පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව පශු වෛද්ය කණ්ඩායම් පවසනවා.
මේ අතර, ගල්ගමුව, ගිරිබාව සහ මීගලෑව ඇතුළු ප්රදේශවල සැරිසරන කාවන්තිස්ස ඇතා පිළිබඳව සියලුම වනජීවී කාර්යාල ඉහළ අවධානයකින් පසුවන ලෙස පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට පෙරේදා උපදෙස් ලබා දී තිබුණා.
ඇතාගේ සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ප්රතිකාර කටයුතු විධිමත් කිරීම සඳහා අමාත්යවරයා ඊයේ (15) විශේෂ නිරීක්ෂණ සංචාරයක ද නිරත වී තිබෙනවා.
කෙසේ වෙතත්, පශු වෛද්ය කණ්ඩායම් පවසන්නේ පාදයේ තුවාලය සුව වී තිබුණත්, ඇතා තවදුරටත් අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.