
ඓතිහාසික දෙවිනුවර ශ්‍රී උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ මතභේදයට තුඩුදී තිබෙන කාවඩි නර්තනය සම්බන්ධ අවසන් තීරණය අද (27) පස්වරුවේ ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා, අද දහවල් පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, මාතර දිසාපතිවරයා ඇතුළ පිරිසකගේ සහභාගිත්වයෙන් අදාළ විශේෂ සාකච්ඡාව මාතරදී පැවැත්වෙන බවත් ඒ මහතා සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ, මෑත කාලීනව කාවඩි නර්තන කණ්ඩායම් අතර දක්නට ලැබුණු අශෝභන හැසිරීම්, මත්පැන් පානය සහ පාතාල කණ්ඩායම්වල මැදිහත්වීම හේතුවෙන් පෙරහැරේ විනය පිරිහී ඇති බවක් නිරීක්ෂණයව ඇති බවයි.
"මීට වසර 35, 40කට වගේ කලින් ඉඳලා මේකට එකතුවෙලා තියෙනවා කාවඩි කියන අංගය. මෑත කාලීනව වසර කිහිපයක් තිස්සේ, පසුගිය වසරේ.. ඊට කලින් වසරවල්වල මේ කාවඩි අංග ඉදිරිපත් කරන අයගේ ගැටලුවක් වෙලා තියෙනවා බොහෝ විට ඔවුන්ගේ ඇඳුම.
සමහර වීඩියෝ දර්ශන අපි බැලුවා ගිය අවුරුද්දෙ එහෙම,,
නිර්වස්ත්‍ර විදියට, තමන්ගේ රහස් ප්‍රදේශ පේන විදියට පවා නැටුම් ඉදිරිපත් කළ අවස්ථා තියෙනවා.
ඒ වගේම බොහොමයක් පිරිස අධික ලෙස මත්පැන් පානය කරලා කාවඩි නර්තනයට එකතු වූ අවස්ථා පහුගිය කාලේ දැකගන්න ලැබුණා.
මේකෙ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ පෙරහැර අවසන් වූ පසු කාවඩි සම්බන්ධයනේ කටයුතු කරන්න සංගමයක් පිහිටුවා තිබෙනවා නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන්. එහි ලබාගත් තීරණයක් මත විනය විරෝධි ලෙස හැසිරුණු කණ්ඩායම් කිහිපයක් ඉවත් කර, කොටසකට විතරක් අවස්ථාව දෙන්න තීරණය කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඒ හා බැදිච්ච පාතාල කණ්ඩායම් කිහිපයක් අතර සංවාද කිහිපයක් දැකගන්න ලැබුණා සමාජ මාධ්‍ය ඔස්සේ. මේ පිළිබඳව පොලිසියේ අවධානය යොමුවුණා පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන්.
පෙරහැර ගැන සම්පූර්ණ බලතල තියෙන්නේ පොලිසියට නෙමෙයි. පොලිසියට තියෙන්නේ ආරක්ෂාව සැපයීම.''