
දඹදිව වන්දනාකරුවන් වෙනුවෙන් යළි නොමිලයේ වීසා බලපත්‍ර ලබා දීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ට ලබා දී තිබූ මෙම නිදහස් වීසා බලපත් සහනය පසුගිය මාස 3-4 ක කාලයක සිට අහෝසි කර තිබිණි.
එමගින් දඹදිව වන්දනාකරුවන් මෙන්ම ඔවුන්ට පහසුකම් සලසන විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බව මාධ්‍ය මඟින් අනාවරණය වීමත් සමග ඉකුත් 24 වැනිදා සිට යළි එම සහනය ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
ඒ අනුව ආගමික ස්ථාන වන්දනා කිරීම සඳහා ඉන්දියාවට යෑමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට ඒ සඳහා වීසා බලපත් අන්තර්ජාලය ඔස්සේ දින වෙන් කරවාගෙන කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට හා මඩකලපුව ආදී ප්‍රදේශවල පිහිටි ඉන්දියානු කොන්සියුලර් මධ්‍යස්ථාන වෙත අයැදුම්පත් භාර දිය හැකි බව මේ සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය සහිත පුද්ගලයන් 10 දෙනකුට වැඩි කණ්ඩායම් සඳහා ගාස්තු රහිතව වීසා නිකුත් කරන බවත් ඒ සඳහා වේගවත් ක්‍රියාවලියක් ස්ථාපිත කොට ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.