
දෙහිවල ගල්කිස්ස නිසල සෙවන සුසාන භූමියේ මුරකරුට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසුවේ සැකකරු අද (27) දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවය.
පසුගිය 19 වැනි දින දෙහිවල ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේ මුරකරුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබුණි.
මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩි තැබීමෙන් මුරකරුගේ වම් අතට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව තිබූ අතර තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.
මෙලෙස රෝහල් ගත කෙරුණේ 56 හැවිරිදි දෙහිවල ධීවර නිවාස ප්‍රදේශයේ පදිංචි අයෙකි.
වෙඩි තැබූ සැකකරුවන් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක නැගී පැදිකරු සමග පලා ගොස් තිබූ අතර ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය ඊයේ (26) උදෑසන දෙල්කඳ ප්‍රදේශයේදී යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 200ක්ද සොයා ගැනීමට පොලීසිය සමත්වූ අතර මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ 25 හැවිරිදි අයෙකි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හිදි අනාවරණය වී ඇත්තේ නිසල සෙවන මුරකරුට වෙඩි තැබීම සිද්ධිය මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බවය.
ඒ අනුව මෙම අපරාධය සිදු කිරීම සඳහා රුපියල් ලක්ෂ 02ක මුදලක් ලබා දී ඇති බවත් ඉන් රුපියල් 55,000ක් සමග සැකකරු භාවිත කළ ජංගම දුරකථන 3ක්ද මෙහිදී පොලීසිය විසින් සොයා ගනු ලැබීය.