
තමන් දැන් රටක් නොමැති සරණාගතයෙක් නිසා පිටුවහල් කළහොත් මුහුදට දැමීමට සිදුවන බව හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසුවාය. ඇය මේ බව පැවසුවේ සංවේදීව හඬා වැලපෙමින් බවයි වාර්තා වන්නේ.
2024 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නීතිඥ උපදෙස් අනුව ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සඳහා අයදුම්පතක් ඉදිරිපත් කලය. එහෙත් එම කාරණය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක් පවරා තිබෙන නිසා එම අයදුම් පත්‍රය බහා තබන ලෙස ආගමන විගමන පාලකට උපදෙස් දුන් බව පැවසීය.
මේ වන විට තමන් උපන් රට වන ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහෝසි වී ඇති අතර, එංගලන්ත පුරවැසිභාවයෙන් ද ඉවත් වී ඇති බැවින් තමන් කිසිදු රටකට අයිති නැති ‘රටක් නොමැති පුරවැසියකු’ බවට පත්ව ඇතැයි ඇය වරින්වර සංවේදීව හඬමින් අධිකරණයේ දී සාක්ෂි දෙමින් කියා සිටියාය.
ව්‍යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරන ලද නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාරිය මේ බව පවසා සිටියාය.
ශ්‍රී ලංකාව තුළ තමන්ගේ කියා කිසිවකු නැති බවත්, තමන්ගේ සියලුම ඥාතීන් ජීවත් වන්නේ එංගලන්තයේ බවත් ඩයනා ගමගේ මහත්මිය විත්තිකාරිය ලෙස වැඩිදුරටත් කීවාය. මෙරට තුළ තමන්ට තිබූ සියලුම දැනහැඳුනුම්කම් සහ සබඳතා හිටපු සැමියා වන සේනක ද සිල්වා නමැත්තා ක්‍රමානුකූලව විනාශ කර දැමූ බව ද ඇය දැඩි සංවේදීතාවයෙන් යුතුව අධිකරණයට ප්‍රකාශ කළාය.
තමන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දැඩි ලෙස විරුද්ධව සිටි බවත් හිටපු සැමියාගේ බල කිරීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට සහය පළ කරමින් එම පනතට පක්ෂව ඡන්දය දීමට සිදුවූ බවත් පැවසුවාය.
20 වැනි සංශෝධනයට ඡන්දය දීමෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තමන්ට කායිකව මෙන්ම මානසිකව ද දැඩි ලෙස හිංසා පීඩා කළ බවත්, අවසානයේදී තමන්ට ආණ්ඩුවට එකතු වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව සඳහන් කළාය.
තමන් රාජ්‍ය ඇමැතිවරියක ලෙස කටයුතු කරන සමයේ හිටපු සැමියා යුක්රේන ජාතික කාන්තාවක සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්, එම හේතුව මත තමන් ඔහුගෙන් වෙන්වීමට පියවර ගත් බවත් විත්තිකාරිය මෙහිදී අනාවරණය කළාය. ඉන්පසුව තමන්ට එරෙහිව කොළඹ වාණිජ අධිකරණය හැර අනෙකුත් සෑම උසාවියකම පාහේ නඩු පවරනු ලැබූ බවත්, එම සියලු නඩුකරයන් පිටුපස සිටින්නේ තමන්ගේ හිටපු සැමියා බවත් ඇය අධිකරණය හමුවේ නැවතත් සංවේදී වෙමින් කියා සිටියාය.
තමන් ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් ජාතික හැඳුනුම්පතක් ලබාගත් බවට පැමිණිල්ල ඉදිරිපත් කරන ලේඛනගත චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසූ ඩයනා ගමගේ මහත්මිය, තමන් ජීවිතයේ කිහිප වතාවක්ම නම සංශෝධනය කර තිබුණ ද උප්පැන්න සහතිකය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් කිසි ලෙසකවත් මතු නොවූ බවත් කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම විත්තිකාරියගේ නම ‘ඩයනා ගමගේ‘ යනුවෙන් නීත්‍යානුකූල ලෙස සංශෝධනය කර නොතිබියදී එම නම සඳහන් හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැවටීමේ අදහසින් අංක 4658 දරන කූට උප්පැන්න ලේඛනයක් පානදුරේදී හෝ කොළඹදී සකස් කිරීම, ඒ සඳහා අනුබල දීම යන වරදවල් සඳහා නඩු පැවරීම සිදුව තිබේ.
නයනා සමන්මලී නොහොත් ඩයනා නටාෂා කැකුණදුර නොහොත් ඩයනා ගමගේ නමැත්තිය 2004 වසරේ ඔක්තෝම්බර් 09දා සහ දෙසැම්බර් 01 අතර කාලය තුළදී ව්‍යාජ හැඳුනුම්පතක් ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කර විදේශ ගමන් බලපත් ලබා ගෙන ඇත. විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 3ක් යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 32, 102, 457, 459 යන වගන්ති යටතේ 2024 වසරේ ජූනි 06දා චෝදනා ගොනු කර තිබේ.
විත්තිකාරියගේ සාක්ෂියෙන් අනතුරුව නඩුව ලබන ජූනි මස 2 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.
(චන්දන ජයවීර, පාරින්ද්‍යා ගුණදාස)