
තමාගේ සහ සිය බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව පවසමින් බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා ආයාචනයක් කර තිබේ.
"වයස අවුරුදු 74 දී, මෙම නොනවතින පීඩාකාරී තත්ත්වය මාව ගෙන යන්නේ මට පණපිටින් ආපසු පැමිණීමට නොහැකි විය හැකි තැනකටයි" යනුවෙන් ඔහු සිය නීතිඥ සල්මන් සෆ්දාර් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක ලියා ඇත.
කෙසේ වෙතත්, ඉස්ලාමාබාද් බලධාරීන් පවසන්නේ ඛාන් සතිපතා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරනු ලබන බවත්, ඔහු "සතුටුදායක" සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට ඔවුන් තක්සේරු කර ඇති බවත්ය.
චෝදනා 100කට වැඩි සංඛ්‍යාවකට මුහුණ දී සිටින ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට බන්ධනාගාරගතව සිටී. ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී ද පසුගිය වසරේ ඔහු සමඟ සිරගත කරන ලදී.
දූෂණ චෝදනාවල සිට රාජ්‍ය ත්‍යාග විකිණීම දක්වා තමන්ට එරෙහිව ඇති නඩු දේශපාලනික වශයෙන් පළිගැනීමේ අරමුණින් ගොනු කළ ඒවා බව ඛාන් තර්ක කරයි.
බන්ධනාගාර බලධාරීන් පියවර ගැනීමට අපොහොසත් වීමෙන් පසු ඔහුගේ දකුණු ඇසේ පෙනීම බොහෝ දුරට අහිමි වී ඇති බවට ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කිරීමත් සමඟ, පසුගිය වසර තුළ ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කනස්සල්ල වඩාත් තීව්ර වී තිබේ.
තමා මොළයේ රුධිර වහන සහ හෘදයාබාධ අවදානමක සිටින බවත්, තම හදවතට දැනටමත් හානි සිදුවී ඇති බවත් වෛද්‍යවරුන් තමාට පවසා ඇති බව ඛාන් සිය ලිපියේ ලියා ඇත.
අප්‍රේල් මාසයේදී රහසිගතව ඇස සම්බන්ධව ශල්‍යකර්මයකට භාජනය වූ බුෂ්රා බිබී පිළිබඳව ද ඔහු සිය කනස්සල්ල පළ කළේය. වැඩිදුර ශල්‍යකර්මයකින් තොරව ඇයගේ පෙනීම අහිමි වනු ඇතැයි තමා බිය වන බව ඛාන් පවසයි.
තමාව දිනකට පැය 22ක් දක්වා හුදකලා සිරමැදිරියක රඳවා තබා ඇති බවත්, එහිදී තම පවුලේ අයට තමාව බැලීමට පැමිණීමට හෝ පොත්පත් සහ රූපවාහිනිය පරිහරණය කිරීමට අවසර නොමැති බවත්, මෙය තම මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් ඔහු සඳහන් කරයි.
පසුගිය වසර තුළ තමාට සිය නීතිඥයින් හමුවීමට ලැබුණේ සිව් වතාවක් පමණක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
"මට මගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට හැකි වන්නේ මම ජීවත්ව සිටියහොත් පමණි"
පාකිස්තානයේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය තාරික් ෆසාල් චෞද්රි මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඛාන්ට "ඔහු කැමති ආහාර ඇතුළුව බන්ධනාගාරය තුළ සියලු පහසුකම් ලබා දී ඇති" බවයි.
"ඔහු දැනට පාකිස්තානයේ සිටින හොඳම පහසුකම් සහිත සිරකරුවායි" අමාත්‍යවරයා විදෙස් වාර්තා හමුවේ ප්‍රකාශ කර තිබේ.
සතියකට පෙර ඇසට එන්නතක් ලබා දීම සඳහා ඛාන් රජයේ රෝහලකට ගෙන ගිය බවත්, එහිදී වෛද්‍යවරුන් ඔහු "සායනිකව ස්ථාවර" බවට තීරණය කළ බවත් බලධාරීහු පවසති.
මීට පෙර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඛාන්, 2018 සිට 2022 දක්වා පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
2023 මැයි මාසයේදී ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් විසින් මහා පරිමාණ, ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ කරන ලදී.
එම විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගිය අතර ප්රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා හමුදාව කැඳවීමට ද සිදු විය.
සිරගතව සිටියදී පවා ඛාන් පාකිස්තාන දේශපාලනයේ ප්‍රබල බලවේගයක් ලෙස රැඳී සිටී.
ඔහු නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක් ඔක්තෝබර් මස මුලදී දින ගණනාවක් පැවති පාගමනකින් වීදි බැස්සහ. පසුව බලධාරීන් විරෝධතා මර්දනය කිරීමට නියෝග කළ අතර ඛාන්ගේ පක්ෂයේ බලකොටුව වන කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.
ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් පසුගිය මාස කිහිපය තුළ පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත අවස්ථා කිහිපයකදීම ආයාචනා ඉදිරිපත් කර තිබේ.